පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

කෙළෙස්‌වල ගොරෝසුකම නිසා අපි ධර්මයට වැරදි අර්ථකථන දෙනවා...

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....
සතර අපායෙන් මිදෙමු - 104 කොටස

'මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ ' ලිපි මාලාව පිංවත් ඔබ වෙනුවෙන් පුදන උන්වහන්සේ එදා ඒ සටහන් තබනු ලැබුවේ අප්‍රකටවය. මේ දක්‌වා කිසිම විටෙක කිසිම අයුරකින් ප්‍රසිද්ධියට පත්වීමේ අවශ්‍යතාවක්‌ උන්වහන්සේට තිබූ අයුරක්‌ අපි නොදැක්‌කෙමු. ඒ බව ධර්මයේ නාමයෙන් සපථ කළ හැක්‌කේය. කාලයාගේ ඇවෑමෙන් උන්වහන්සේගේ දම් දෙසුම් සජීවීව ඇසීමට, දැකීමට අවස්‌ථාව සැලසුණි. දහස්‌ ගණනින් දනෝ එතෙක්‌ අකුරු ලෙසින් කියවූ උන්වහන්සේගේ දහම් ගැලපුම වචන වලින් ඇසීමට අවස්‌ථාව සලසාගත්හ. ඒ කටයුතු සියල්ල එසේ සිදුවෙද්දී 'ඉරිදා දිවයින' ධර්මකාමී පාඨකයන් වෙනුවෙන් සුපුරුදු පරිදි දිගින් දිගටම 'මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ ' ලිපි මාලාව ඉදිරිපත් කළේය. ඒ සඳහා අඛණ්‌ඩව උන්වහන්සේගෙන් දහම් ගැලපුම් සටහන් ලැබිණි. නමුත් අප්‍රකටව සිටිමින් 'ඉරිදා දිවයින' ඔස්‌සේ පමණක්‌ සිය දහම් ගැලපුම ඉදිරිපත් කළ උන්වහන්සේ කාලයාගේ ඇවෑමෙන් ප්‍රසිද්ධ ධර්ම දේශනාමාලාවක්‌ ඔස්‌සේ සමාජය ඉදිරියට පැමිණීයේ මන්ද යන්න ඇතැමෙක්‌ට පැනයක්‌ විය. වස්‌කාලය පිණිස ආරණ්‍යවාසීව සිටින උන්වහන්සේ ඉකුත් දිනක අපවෙත යොමුකළ මේ ලිපිය විසින් ඒ සියල්ලට පිළිතුරු සැපයෙනු ඇතැයි අපි විශ්වාස කරමු. මේ ලිපිය උන්වහන්සේ විසින් යොමුකරනු ලැබුවේ සාමාන්‍ය රටාවේ පරිදි ඉඩ ලැබෙන අයුරින් පළ කිරීමටය. නමුත් ලිපි මාලාවේ අනුපිළිවෙලින් සැකසූ තවත් ලිපි කිහිපයක්‌ පළ කිරීම සඳහා පෙළගස්‌වා තිබියදී, මේ ලිපිය ඉදිරියට ගෙන මෙලෙස පළ කරන්නේ ඔබ විසින් අපෙන් ඇසූ පැනයක්‌ වේ නම් එයට පිළිතුරක්‌ වශයෙන්ම පමණි. උන්වහන්සේට කිසිවිටෙකත් පිළිතුරු බැඳීමට අවශ්‍ය නොවූවත් උන්වහන්සේ විසින් මෙහි සිදුකරනු ලැබ ඇත්තේ ඉදිරිපත්වන පැනයත්, විවේචනයත්, ප්‍රසංශාවත්, සාධුකාරයත් ධර්මයට ගැලපීමම පමණි.

ඔබ ලෝකයට යන්න හැරලා, ලෝකය පසුපසින් යන්න. එවිට පිංවත් ඔබට ලොකු සැහැල්ලුවක්‌ දැනෙනවා. ලෝකය අල්ලාගැනීමට යැම තුළින්මයි අපි වෙහෙසට පත්වෙන්නේ. රූපයේ අනිත්‍යභාවය දකිමින්, කෙළෙස්‌වල තුනී භාවය ඇතිකරගන්න. සෝවාන් ඵලයට පත්වුණ බිම්බිසාර රජතුමා මගධ රාජ්‍යය පාලනය කළේ, රූපයේ අනිත්‍යභාවය දැකීම තුළින් ඇතිකරගත් කෙළෙස්‌වල තුනීභාවය තුළින්මයි. යම් පිංවතෙක්‌ පැවිදිවෙනකොට හෝ උපසම්පදා වෙනකොට අසන සාම්ප්‍රදායික ප්‍රශ්නයක්‌ තිබෙනවා. ඒ ප්‍රශ්නය තමයි 'ඔබ රාජ භටයෙක්‌ද?' කියන කාරණය. රාජ්‍ය හමුදාවන්ට අයිති භටයෙක්‌ද යන්න විනය කාරණාවක්‌ බවට පත්වෙන්නේ බිම්බිසාර රජතුමා නිසා. 

වරක්‌ බිම්බිසාර රජතුමාගේ රාජ්‍යයේ ප්‍රාන්තයක සොරුන්ගෙන් ජනතාව පීඩාවට පත්වෙනවා. ප්‍රදේශය සාමකාමී කිරීම සඳහා රාජ නියෝගයෙන් යුද භටයන් අදාළ ප්‍රදේශයට පිටත්කොට හරිනවා. මෙහෙම යුද්ධයට ගිය දක්‍ෂ හමුදා නිලධාරීන්, ස්වාමීන්වහන්සේලාගෙන් බණ අහලා අකුසලය කෙරෙහි බියවෙලා පැවිදිවෙනවා. බිම්බිසාර රජතුමාට දැනගන්න ලැබෙනවා තම යුද සේනාවේ දක්‍ෂයන් පැවිදිවෙලාය කියන කාරනය. මේ හේතුව නිසාම ප්‍රාන්තයේ සොරුන්ගේ ග්‍රහණය වැඩිවෙලයි තිබුණේ. බිම්බිසාර රජතුමා මේ ගැන බුදුරජාණන්වහන්සේට පැමිණිලි කරනවා. යුද්ධය සංසිඳවන්න, ප්‍රදේශය ආරක්‍ෂා කරන්න යොමු කරපු හමුදාවේ භටයන් පැවිදිකිරීම වරදක්‌ය කියලා. යුද සේනාවේ පිරිස්‌ පැවිදි කිරීම නිසා, සොරුන් මංපහරන්නන් දැඩි ලෙස ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්කොටගෙනයි තිබුණේ. මෙම කාරණාව ඇත්තක්‌ බව දැනගත්ත බුදුරජාණන්වහන්සේ විනය කාරණාවක්‌ පනවනවා, නිත්‍යානුකූලව රාජ්‍ය හමුදාවන්ගෙන් ඉවත් නොවූ කිසිවෙක්‌ පැවිදි උපසම්පදා කිරීම තහනම් කරලා. මෙම විනය කාරණා පැනවෙන්නේ සෝවාන් ඵලයට පත්වුණු බිම්බිසාර රජතුමා නිසා. මේවායින් පැහැදිලි වෙනවා, යම් ගිහි පිංවතෙක්‌ සෝවාන් ඵලයට පත්වුණාය කියලා, ඊට අදාළ ධර්මය ලෝකයට දේශනා කළාය කියලා, රට ජාතිය ආගම අනතුරට පත්වෙන්නේ නැහැ කියන කාරණය. අපේ කෙළෙස්‌ වල ගොරෝසුකම නිසාම අපි ධර්මයට වැරදි අර්ථකථන දෙනවා. 

හොඳයි නරකයි දෙකම ලෝකයේ තිබෙනවා. දුකයි සැපයි දෙකම ලෝකයේ තිබෙනවා. හොඳ ගැන පමණක්‌ කථා කරන්න බැහැ. නරකත් ලෝකයේම කොටසක්‌. ඒ වගේමයි, නිවන ගැන කියන ධර්මයකුත්, භවය ගැන කියන ධර්මයකුත් ලෝකයේ තිබෙනවා. මේවා එකිනෙකට බැහැරව ලෝකය ගැන කථාකරන්න බැහැ. එම නිසා උතුම් නිවීමේ මාර්ගය ගැන කථාකිරීමේ අයිතියක්‌ ලෝකයට තිබිය යුතුයි. උතුම් නිවන් මාර්ගයේදී අපේ ශාස්‌තෘන්වහන්සේ, ලොව්තුරා බුදුරජාණන්වහන්සේම බව මතුකොටගන්න අපි දක්‍ෂ වෙන්න ඕනා.

අද උදේ පිණ්‌ඩපාතයේ වඩිනකොට හොඳටම වැහිරීගිය ශරීරයකින් යුත් එළදෙනක්‌ මහ පාරට යාබදව ඇති වැව් පිටියේ බිම වැටී දඟලනවා. ඒ එළදෙනගේ අත් පා ගැහෙනවා. පෙබරවාරියේ කර්කශ ඉඩෝරයේ කටුකභාවය, වැහැරීගිය එළදෙනගේ ශරීරයේ ස්‌වභාවයෙන් ඉතා අර්ථවත්ව මතුකොට දෙනවා. සත්වයාගේ අකුසල් මෝදුකොට, විපාකයන් සලස්‌වන්න, මේ කටුක වියලි පරිසරය බොහෝම සමීපභාවයෙන් උපකාර කරනවා. තවම පෙරවරු 8.00 ට වත් නැහැ. හිරුගේ තද හිරුරැස්‌, කාටත් සමසේ විපාකයන් විඳීමට සලස්‌වනවා. භික්‍ෂුව පිණ්‌ඩපාතයේ වැඩමකොට, නැවත කුටියට වඩිනකොට එම එළදෙනගේ අයිතිකරු එළදෙනව සොයාගෙන ඇවිත්. එළදෙනගේ වැහැරුණු ස්‌වභාවය සමග බලනකොට එළදෙනගේ අයිතිකරු බොහොම පෘශ්ර්ධමත් කෙනෙක්‌. ඔහු බිම වැටී දඟලන එලදෙන ළඟට ඇවිත් බිම වැටී දඟළන එළදෙනගේ වලිගයෙන් අල්ලලා වේගයෙන් කැරකෙව්වා. එම පෘශ්ර්ධමත් මනුෂ්‍යයාගේ ශරීර ශක්‌තිය නිසා, භික්‍ෂුව හිතුවේ ඒ වැඩෙන් එළදෙනගේ වලිගය කැඩේවී කියලා. ඒත් එහෙම වුනේ නැහැ. එළදෙනගේ අකුසල් වගේම වලිගයත් ශක්‌තිමත්. වලිගය වේගයෙන් ඇඹරීම නිසා ඇතිවූ වේදනාවෙන් එළදෙන දෙතුන්වරක්‌ මහ පොළොව මත කැරකී නැගිට ගැහි ගැහී දිවගියා. ඇය දිවගොස්‌ බොහෝම උවමනාවෙන් තම ස්‌වාමියා දෙස බලා සිටියා. 'අනේ ඔබත් කවදාහරි එළදෙනක්‌ වෙලා මේ විදිහට මේ දුකම විඳිනවා නේද?' කියන අයුරේ අදහසක්‌ එළදෙනගේ බැල්ම තුළින් භික්‍ෂුව දැක්‌කේ. නමුත් එළදෙනගේ අයිතිකරු තුළින් භික්‍ෂුව දැක්‌කේ එවැනි බැල්මක්‌ නොවේ. ඊළඟ මාසයේ මස්‌ කඩයට හරක්‌ පටවන ලොරිය එනතෙක්‌, එළදෙන මැරෙන්නට නම් එපාය කියන අදහසකුයි ඔහුගේ බැල්මෙන් ජනිත වුනේ. මල් ගැන කථා කරනකොට සුවඳ ඊට බැඳිලයි තිබෙන්නේ. ඒ වගේමයි, ජීවිත ගැන කථා කරන කොට දුක ඊට බැඳිලාම තිබෙනවා.

මේ ජීවිතයේදී මේ දෙදෙනා එළදෙන සහ එළදෙනගේ හිමිකරු වශයෙන් හමුවුණත් සංසාරයේ කී වතාවක්‌ නම් මේ එළදෙන, එළදෙනගේ වත්මන් හිමිකරුගේ අම්මා වශයෙන් ඉපදිලා ඇතිද. අවෆdව විසින් පෙර සංසාරේ තමන්ගේ අම්මාව මේ ආත්මයේදී මසට විකුණගෙන කන තැනට අපිව පත්කොට තිබෙනවා. 

දැඩි නියඟය මැද්දේ, කුසට අහරක්‌ ජලයක්‌ නොමැතිව, වැහැරීගිය ශරීරයකින් යුත් මේ එළදෙන දකිනකොට, භික්‍ෂුවට මතකයට එන්නේ, පෙර ජීවිතයක හොඳට හම්බකරලා, හොඳ රසවත් ආහාර තනිවම භුක්‌තිවිඳලා, හොඳින් දරු මුණුබුරන් හදලා, සුඛෝපභෝගී ජීවිතයක්‌ ගතකරලා, දැඩි ලෝභකම නිසාම දන්දීම සිදුනොකර මියගිය කාන්තාවක්‌මයි. දන් නොදීම නිසා ආයුෂ, වර්ණය, සැපය, බලය හොඳටම දුර්වල කරලා. ශීලයක්‌ රැක්‌කේ නැති නිසාම තිරිසන් ජීවිතයට වැටිලා.

ඉන්ද්‍රජිත් සුබසිංහ

ඔබේ ඥාති පරම්පරාවේ සමූහ ජායාරූපයක්‌ හදාගන්නමහරහතුන් වැඩි මග ඔස්‌සේ 
සතර අපායෙන් මිදෙමු - 105 කොටස

දන්දීමට අකමැති පිංවතුන් සමාජය තුළ කොතෙක්‌ ජීවත්වෙනවද. ඒ අය දන්නේ නැහැ, පූජාකරන දානය අයිතිවෙන්නේ තමන්ටමය කියලා. මේ ගෞතම බුද්ධ ශාසනයේ ඇසිදිසි දානය පූජාකරගත්තේ කොසොල් රජතුමාගේ බිරිඳ මල්ලිකා බිසවයි. රුපියල් කෝටි ගණනක්‌ වියදම් කර මල්ලිකා දේවිය ඇසිදිසි දානය පූජා කිරීමෙන් අනතුරුව, කොසොල් රජතුමාගේ 'කාල' කියන ඇමතිවරයා, මෙම ඇසිදිසි දානය මහා මුදල් නාස්‌තියක්‌ය කියලා දුක්‌ වුණා. විවේචනය කළා. මෙය දැනගත්ත බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අනුවනයා දන්දීම ගරහනවා, දන්දීමට අකමැතියි, අනුන් දුන් දානයන් නිසා අකුසල් රැස්‌කර ගන්නවා, නමුත් නුවනැත්තා අනුන් පූජා කළ දානයෙන් පිං අනුමෝදන් වෙනවා කියලා.

වේලාම කියන තරුණයා වෙලා බෝධිසත්වයෝ කෝටිපති පවුලක උපත ලබනවා. වේලාම තරුණයා කල්පනා කරනවා, 'මේ කෝටි ගණන් දේපල, ඉඩකඩම්, සියල්ලම හම්බ කළේ මේ ආච්චි, සීයා. ඒ දෙදෙනා මහා දුක්‌ විඳලා මේ දේපල හම්බ කරලා හිස්‌ අතින් මැරිලා ගියා. ඊළඟට මේ දේපල තව ශක්‌තිමත් කළේ මගේ අම්මා, තාත්තා. ඒ දෙදෙනාත් දුක්‌ විඳලා මේවා හම්බ කරලා හිස්‌ අතින් මැරිලා ගියා. මෙම දේපල රැස්‌කරපු අය හිස්‌ අතින් මියගියත්, මම මේ දේපල සියල්ල අරගෙන යනවා කියලා. එසේ සිතලා සියලුම වස්‌තුව දන් දුන්නා. සියලු වස්‌තුව දන් දුන්නට පස්‌සේ වේලාම තරුණයා සාදුකාර දුන්නා. 'මම මේ සියල්ල අරගෙන ගියා' කියලා. බෝධිසත්වයන් ඒ පිරුවාවූ දාන පාරමිතාවේ ශක්‌තියයි, වර්තමානයෙත් ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී නාමය ලබන්නේ. අපි අද දාන වස්‌තුවක්‌ සකස්‌කර ගතහොත් එහි අග්‍ර කොටස පූජා කරන්නේ බුදුරජාණන්වහන්සේටයි. ඒ අග්‍රවූ ලැබීම බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී නාමය වර්තමානයේ ලබන්නේ අතීත දාන පාරමිතාවේ ශක්‌තිය නිසාමයි. අනුනට, දානමය ෙච්තනාවෙන් දුන් දෙයමයි අපි අරගෙන යන්නේ. රැස්‌කරපු දෙය අපේම දුකට හේතුවෙනවා. කුසට අහරක්‌ නැතිව, ඉනට වස්‌ත්‍රයක්‌ නැතිව දුක්‌ විඳින මනුෂ්‍යයෙක්‌ දකිනකොට, කුසට අහරක්‌ නැතිව දුක්‌ විඳින තිරිසන් සතෙක්‌ දකිනකොට, එම මනුෂ්‍යයා තුළින්, තිරිසන් සතා තුළින්, අතීත සංසාරයේ දන් නොදුන් ලෝභී මනුෂ්‍යයෙක්‌වම දකින්න. දානයෙන් තොර ජීවිතය විසින් සකස්‌කර දෙන සංසාර බිය දකින්න.

භික්‍ෂුවට මේ මොහොතේ මතකයට එනවා භික්‍ෂුවගේ ආච්චි සීයාගේ පරම්පරාව. මගේ ආච්චි මියගියේ මගේ ඔඩොක්‌කුව මත. ආච්චි සීයාගේ පරම්පරාව, ඒ අය මියගියාට පස්‌සේ අම්මා තාත්තගේ පරම්පරාව... දැන් ඒ අය මියගිහින් ඉවරයි. එක පරම්පරාවක්‌ ඉවරවෙනකොට, අලුත් පරම්පරාවක්‌ බිහිවෙනවා. බිහිවෙන පරම්පරාව හිතන්නේ නැහැ හිටපු පරම්පරාවට මොකද වුනේ කියලා. තමන්ගේ අලුත් පරම්පරාවක්‌ හදන්නයි උත්සහ ගන්නේ. දෙමව්පියන් දරුවන්ට මෝහයම උගන්නලා දුකෙන් දුකට යනවා. 

ඉහත කාරණය තුළ ඔබට මතුකොට ගැනීමට ගැඹුරු කමටහනක්‌ තිබෙනවා. පිංවත් ඔබට මතක තිබෙනවානේ පිංවත් ඔබගේ ආච්චි සීයාගේ පරම්පරාව. අම්මගේ, තාත්තගේ පරම්පරාව. ඒ අයගේ සහෝදර සහෝදරියන්ගේ ඥාතීන්... දැන් ඒ අය හුඟ දෙනෙක්‌ මැරිලා. ඔබ මනසින් චිත්‍රයක්‌ මවාගන්න ඒ අය ගැන. මරණින් මතු ඒ ඥාතීන්ට වෙච්චි දෙය ගැන, චිත්‍රයක්‌ මනසින් මවාගන්න. දැන් එම චිත්‍රයේ දෙවියන්, දිව්‍යාංගනාවන්. මනුෂ්‍යයින්, ප්‍රේතයින්, ප්‍රේතියන්, තිරිසන් සතුන් ගොඩක්‌ ඔබත් සමග එක පේළියට සිටීවි. ඔබ මේ කණ්‌ඩායම් ජායාරූපය නිරතුරුවම නුවනින් දකින්න. සංසාර බිය ඇතිකොටගන්න. 

භික්‍ෂුව ළඟ තම මියගිය ඥාතීන්ගේ කණ්‌ඩායම් ජායාරූපයක්‌ තිබෙනවා. එහි දෙවියන්, මනුෂ්‍යයන් හුඟක්‌ම අඩුයි. මෙවැනි කණ්‌ඩායම් ජායාරූපයක්‌ හදාගත්තා නම් , ඔහු සක්‌කාය දිට්‌ඨය හීන කෙනෙක්‌ වෙන්න ඕනේ. සක්‌කාය දිට්‌ඨය තියුණු කෙනෙක්‌ට මෙවැනි ජායාරූපයක්‌ ගැන හිතන්නවත් බැහැ. කොසොල් රජතුමාගේ බිසව ඇසිදිසි දානය පූජාකොටගෙනත්, අවසානයේ තිරිසන් කුලකයකට මොහොතකට හෝ වැටුනාය කියන කාරණය නුවනින් දකින්න. 

බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත්වුණු ජානුසෝති කියන බමුණා, බුදුරජාණන්වහන්සේට දානයට නිවසට ආරාධනා කරනවා. බමුණා මේ දානය පූජා කළේ මියගිය ඥාතීන්ගේ සැපය උදෙසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මියගිය ඥාතීන් කාය, වචී, මනෝ කර්මයන් සිදුකරගෙන ප්‍රේත ලෝකයේ පරදත්තරූපජීවී ප්‍රේතයන් වශයෙන් ඉපදෙනවා කියලා. ඒ අයට පමණයි පිං ගන්න පුළුවන්ය කියලා. මෙහෙම බුදුරජාණන්වහන්සේ දේශනා කරනකොට ජානුසෝති බ්‍රහ්මයාට ලොකු මදිපුංචිකමක්‌ සේ එය දැනුණා. ජානුසෝති බ්‍රාහ්මනයා බුදුරජාණන්වහන්සේට කියනවා, 'මගේ ඥාතීන් කව්රුවත් ප්‍රේත ලෝකවල උපදින්නේ නැහැ කියලා. ජානුසෝති බමුණාගේ දැඩි සක්‌කාය දිට්‌ඨය නිසාම, ඔහු පිළිගන්නේ නැහැ තම ඥාතීන් මැරිලා ප්‍රේත ලෝකවල සිටිනවාය කියන කාරණය. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මේ ජීවිතයේ ඔබේ ඥාතීන් ප්‍රේත ලෝකවල, නැතිනම් ඊට ඉහත ආත්මභවයේ ඥාති ප්‍රේතයින් මේ පින අනුමෝදන් වෙයි කියලා. ඒ වෙලාවේ ජානුසෝති බ්‍රාහ්මනයා කියනවා 'ඉන් ඉහත ආත්මයේ මගේ ඥාතීනුත් ප්‍රේත ලෝකවල ඉපදිලා නැහැ කියලා. ඒ අවස්‌ථාවේ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා එය කවදාවත් වෙන්න පුළුවන් දෙයක්‌ නොවෙයි, අනන්තවත් ආත්මබවවල ඥාතීන් වූ ප්‍රේතයන් අපේ පසුපස පිං බලාපොරොත්තුවෙන් සිටිනවා කියලා. එවිට ජානුසෝති බ්‍රාහ්මනයා කියනවා කිසිම ආත්මභාවයක මගේ ඥාතීන් ප්‍රේත ලෝකවල ඉපදිලා නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ලෝකයේ එහෙම දෙයක්‌ වෙන්න බැහැ. නමුත් එහෙම වුණාය කියමුකෝ, එහෙම වුණත් ඒ පින ජීවත්ව සිටින ඔබලාගේ ආයුෂ, වර්ණය, සැපය, බලය පිණිස හේතුවේවි කියලා. බමුණා තුළ තිබූ දැඩි සක්‌කාය දිට්‌ඨය නිසාම, තමනුත් තම මියගිය ඥාතීනුත් අසරණභාවයට පත්කොටගත් ආකාරය නුවනින් දකිමින්, සක්‌කාය දිට්‌ඨය අපිට සකස්‌කොට දෙන සංසාර බිය ගැන නුවනින් මෙනෙහි කරන්න. 

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

රහතන්වහන්සේ දුවන ලෝකය තුළ
නොදුවන චරිතයකි 


මහරහතුන් වැඩි මග ඔස්‌සේ 
සතර අපායෙන් මිදෙමු - 106 කොටස

කාලය නැවතිලා තිබෙන්නේ. ඉර, හඳ, තාරකා දුවන පස්‌සේ, මනුෂ්‍යයා අතීත, අනාගත, වර්තමාන වශයෙන් බෙදාගෙන දුවනවා. නමුත් රහතන්වහන්සේ නැවතිලයි සිටින්නේ. ඒ නිසා උන්වහන්සේට මේ වේගය හොඳින් දැනෙනවා. දුවන ලෝකය තුළ නොදුවන චරිතයක්‌ බවට රහතන්වහන්සේ පත්වෙන්නේ එහෙමයි.

රූපය කෙරෙහි ඇති තෘෂ්ණාවයි අපිව මේ දිවීමේ තරගයට ඇද දමන්නේ. අවිද්‍යාව කියන ජවය, හඹායැමේ ශක්‌තිය අපට ලබාදෙනවා. දැන් ඉතින් දුවන්නයි තිබෙන්නේ. මේ දිවීමේදී ජය සහ පරාජය කියන කාරණාවන් දෙකම ලැබෙනවා. මේ ජය පරාජය කියන කාරණා දෙකත් රූපය අයිතිකොට ගැනීමේ තරගයේදී අපිම අයිතිකොටගන්නා සම්මුතීන් දෙකක්‌. අයිතිකරගත් තැනදී 'ජය' කියලා යොදනවා. අයිති නොකරගත් තැනදී 'පරාජය' කියලා යොදනවා. රහතන්වහන්සේ රූපය අයිතිකරගැනීමේ තරගයෙන් මිදිලයි සිටින්නේ. ඒ නිසා උන්වහන්සේ ජය පරාජයෙන් මිදිලයි සිටින්නේ. ජය පරාජයෙන් මිදුන තැන උන්වහන්සේලා විසින් මතුකොටගන්නේ සංසාර බිය නුවනින් මෙනෙහි කිරීම තුළින්මයි. ඒ නිසා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා දස දහස්‌ ගණනින් වියදම්කර, මාසයක්‌ ගානේ අවුරුදු සියයක්‌ යාග සිදුකරත්, සිත දමනය කරගත් රහතන්වහන්සේ එක මොහොතකට කරන පූජාව අවුරුදු සියයකට වැඩිය සිදුකළ යාගයන්ට වඩා ශේ්‍රෂ්ඨයි කියලා. 

ආමිස දානයයි, ධර්ම දානයයි කියලා දෙකක්‌ තිබෙනවා. මේ දෙක අතරින් ධර්මදානයයි අග්‍රවෙන්නේ. 

කෙනෙක්‌ තවත් කෙනෙකුට කරන අනුග්‍රහයන් දෙකක්‌ තිබෙනවා. එකක්‌ තමයි ආමිසයෙන් කරන අනුග්‍රහය. අනෙක තමයි ධර්මයෙන් කෙරෙන අනුග්‍රහය. මේ අනුග්‍රහයන් දෙකෙන්, ධර්මයෙන් කරන අනුග්‍රහයයි අග්‍රවෙන්නේ. ආමිසයෙන් කෙරෙන උපකාරයයි, ධර්මයෙන් කරන උපකාරයයි අතරින් ධර්මයෙන් කරන උපකාරයයි අග්‍රවෙන්නේ කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

ඊයේ සවස්‌ කාලයේ භික්‍ෂුව මුණගැහෙන්න තරුණ ස්‌වාමීන්වහන්සේනමක්‌ පැමිණියා. උන්වහන්සේ බොහෝම වීර්යවන්ත ස්‌වාමීන්වහන්සේ නමක්‌. නමුත් උන්වහන්සේ ඒ බවක්‌ හැඟවූයේ නැහැ. මේ වෙලාවේ උන්වහන්සේව සිහිපත්වෙනකොට, බුදුරජාණන්වහන්සේ උතුම් පැවිද්ද ගැන කියා තිබෙන දේශනාවක්‌ මතකයට පැමිණියා. 

දෙවියන් අතර තුන් ආකාරයක කථාබහක්‌ ඇතිවෙනවා. යමෙක්‌ ගිහිගෙදරින් නික්‌මී, පැවිදි ජීවිතයකට පත්වීමට සිතනවානම්, ඒ වෙලාවේ දෙවියන් අතර දිව්‍ය කථාබහක්‌ ඇතිවෙනවා. මේ පුද්ගලයා මාරයා සමග යුද්ධ කරන්න සිතනවාය කියලා. මෙහෙම වෙලා, පැවිදිවුණාට පස්‌සේ දෙවියන් අතර කථා බහක්‌ ඇතිවෙනවාලු මේ භික්‍ෂුව මාරයා සමග යුද්ධ කරනවාය කියලා. තුන්වැනිව එම භික්‍ෂුව ප්‍රඥා විමුක්‌තිය සාක්‍ෂාත් කරගන්න වෙලාවේ දෙවියන් අතර දිව්‍ය කථාබහක්‌ ඇතිවෙනවාලු මේ භික්‍ෂුව මාර යුද්ධයෙන් දිනුවාය කියලා. උත්තරීතර නිවන් මාර්ගය තරණය කරන අවංක භික්‍ෂුවට දෙවියන් නමස්‌කාර කරනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පැවිද්දට සහ පැවිද්දේ උතුම් අර්ථයන්ට දෙවියන් නිරතුරවම වන්දනාකරනවා කියලා දේශනා කරනවා.

තමා තුළ ඇති උතුම් ශක්‌තිය මතුකොටගන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. 

භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවෙනකොට සවස 2 ට පමණ ආකාශය තුළ තමාට මීටර 150 ක්‌ පමණ උසින් තමා දෙස බලා සිටින බ්‍රහ්මයෙක්‌ දර්ශනය වෙලා තිබෙනවා. ආකාශය මත පලසක්‌ එලාගෙන එම පලස මත තමයි ඒ බ්‍රහ්මයා වැඩසිටියේ. පළස මත සිටගෙන සිටින ස්‌වභාවයෙන් බොහොම තැන්පත්ව භික්‍ෂුව දෙස බලාගෙන සිට තිබෙනවා. ඉනෙන් පහළට බොහොම ප්‍රභාශ්වර සුදු පැහැති වේට්‌ටියක්‌, උඩු කයට ප්‍රභාශ්වර සුදු පැහැති උතුරු සළුවක්‌ පැළඳගෙන සිටියේ බොහොම තැන්පත් ආකාරයෙන්. වැඩුණු සුදු හිසකෙස්‌වලින් යුක්‌ත වුනා. ආකාශයේ සිටගෙනම විනාඩි දෙකකට පමණ පසු උතුම් සමාධියෙන් දර්ශනය වූ මේ බ්‍රහ්මයා නොපෙනීගොස්‌ තිබෙනවා. මේ බ්‍රහ්මයාගේ ස්‌වරූපය මනුෂ්‍ය ස්‌වරූපයක්‌මයි. මේ බ්‍රහ්මයාට රූපාවචර, අරූපාවචර බ්‍රහ්මතලයක බ්‍රහ්මයකුගේ ලක්‍ෂණ නෙමෙයි තිබිලා තියෙන්නේ. භික්‍ෂුව මේ බ්‍රහ්මයා තුළින් දැක ඇත්තේ මාර්ගඵල ලාභී බ්‍රහ්මයකුගේ ස්‌වභාවයයි. එම භික්‍ෂුව උතුම් සමාධිය තුළින් මේ බ්‍රහ්මයාව දකිනකොට, එම දැක්‌කාවූ බ්‍රහ්ම රූපය දැක්‌කාය කියන තැනින් නතරකොට දැමීමයි සිදුකර තිබෙන්නේ. ඒ බ්‍රහ්ම රූපයත් ඒ මොහොතේම අට්‌ඨක සංඥාවෙන් දකින්න එම භික්‍ෂුව කටයුතුකොට තිබෙනවා. බ්‍රහ්මයාගේ රූපය තුළිනුත් ධර්මයමයි දැක්‌කේ. 

ඊයේ සවස්‌ කාලයේ භික්‍ෂුව මුණගැසීමට පැමිණි තරුණ ස්‌වාමීන්වහන්සේනමක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා. තමා තුළින් හොඳින් සමාධිය වැඩෙනවා. නමුත් විදර්ශනාව දෙසට හිත යොමුවෙන්නේ නැහැ කියලා. එම නිසා විදර්ශනාව ඇතිකොටගන්න හැටි පහදලා දෙන්න කියලා. දැන් බලන්න පෙර සඳහන් කළ බ්‍රහ්මයාගේ රූපය, භික්‍ෂුවක්‌ විසින් උතුම් සමාධියෙන් දකිනකොට එම භික්‍ෂුව සමාධිය තුළයි සිටියේ. නමුත් සමාධිය තුළින් බ්‍රහ්මයාගේ රූපය දකින මොහොතේම එම බ්‍රහ්මයාගේ රූපය දැක්‌කාය කියන තැනින් නතරකරගැනීමට දක්‍ෂවුණා. එම බ්‍රහ්මයාගේ රූපය ඒ මොහොතේම අට්‌ඨක සංඥාවෙන් දකින්න දක්‍ෂ වුණා. විදර්ශනාත්මක සිතක්‌ කියලා දෙයක්‌ නැහැ. විදර්ශනාත්මක සිතක්‌ සකස්‌වෙන්නේ අවම වශයෙන් සෝවාන් ඵලයට පත්වීමෙන් අනතුරුවයි. එතෙක්‌ අපි සිත විදර්ශනාවට යොමුකර ගත යුතුයි. පංච උපදානස්‌කන්ධය සකස්‌වෙන්නෙත් තමා තුළින්මයි. එම පංච උපාදානස්‌කන්ධය අනිත්‍ය වශයෙන් දැකිය යුත්තෙත් තමාමයි. ඒ කියන්නේ තමා තුළ තිබෙන දෙයක්‌ තමයි අපි ලෝකය තුළ සොයන්නේ. බ්‍රහ්මයා කියන රූපය තුළින් විදර්ශනා නුවන ඇතිකරගත්තේ තමාමයි. එහෙම නම් විදර්ශනා නුවන ඇතිකරගැනීමේ ශක්‌තිය තමා තුළයි තිබෙන්නේ. ඒ නිසා ලෝකය තුළ සොයලා වැඩක්‌ නැහැ. 

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com