පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

මේ ආත්මයේ පිංකම්වලින් පමණක්‌ යෑපෙන්නට හිතන්න එපා

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
සතර අපායෙන් මිදෙමු - 98 කොටස
සංසාර බිය -9


බුදුරජාණන් වහන්සේ යම් විනය කාරණාවක්‌ දේශනා කළා නම්, එම විනය කාරණා දුර්වල කරගැනීමෙන් ලැබෙන විපාකයන් කවදාවත් අඩුවක්‌ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පැනවීම් කවදාවත් කාලයට අනුව වෙනස්‌ වෙන්නේ නැහැ. අපි ධර්මයෙන් බැහැරව යනකොට, අපේ හිත රවට්‌ටාගෙන අමුතු ආරක්‍ෂාවක්‌ ලෙසින් විනය කාරණාවන් ලිහිල් කිරීමට ගන්නා වූ උත්සාහයක්‌ සමාජයේ තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අතීතයේ යම් විනය කාරණාවක්‌ පැනවූවා නම්, එම විනය කාරණා දුර්වල කරගැනීම තුළ, ලැබෙන ආදීනවය අදත් එදාමෙන්මයි. විනය කාරණා ලිහිල් කරගත්තාට එහි ආදීනවයන් නම් ලිහිල් වන්නේ නැහැ.

අනාගතයේ ඔබට රට ජාතිය නිසා අඹුදරුවන් නිසා සැබවින්ම සතුටු වීමට අවස්‌ථාවක්‌ ලැබෙන්නේ නැහැ. මොකද මනුෂ්‍යයාගේ පංචඋපාදානස්‌කන්ධය ගිනිගන්නා විට ගිනි රස්‌නය මත සිසිලස සෙවීම විහිළුවක්‌ වෙනවා. දුෂ්ශීල මාර්ගයන් තුළින් සකස්‌වෙන අකුසලයන් නිසාම ගින්දර නිවා ගැනීමේ මාර්ගය හැටියට ලෝකය දකින්නේ තව තවත් ගිනි අවුළුවා ගැනීමේ මාර්ගයක්‌මයි.

පිංවත් ඔබ මේ ධර්ම මාර්ගයේ පෙරට එනවිට ඔබ නිවැරැදිව ඔබේ ශාස්‌තෘන් වහන්සේ කවුද කියලා හඳුනාගන්න ඕනේ. අපේ ශාස්‌තෘන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේමයි. වෙනත් බාහිර පුද්ගල චරිත ඔබේ මාර්ගය කරගන්න එපා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පංචමහා ගංගාවන්ගෙන් කොතෙක්‌ ජලය ගලාගෙන ඇවිත් මහා සාගරයට වැටුණත් මහා සාගරය උතුරා නොයන්නේ යම්සේද, කොයි තරම් මනුෂ්‍යයන් දෙවියන් නිවන් අවබෝධයකරා ගියත් ලෝකය හිස්‌ වන්නේ නැහැ කියලා. එම නිසා පිංවත් ඔබ නිවන් මාර්ගයේ ගමන් කළාය කියලා කවදාවත් රට, ජාතිය, ආගම, අනතුරට පත්වෙන්නේ නැහැ.

අපි මේ ලෝකයට ඇවිල්ල තිබෙන්නේ යම් කාරණාවක්‌ උදෙසාමයි. ඒ කාරණය තමා තුළ සැඟවිලා තිබෙනවා. මේ තමා තුළ සැඟවිලා තිබෙන කාරණය මතුකර දෙන්නේ කුසලය සහ අකුසලය තුළිනුයි. මේ කුසලය සහ අකුසලය තමා තුළින් මතුකර දෙන්නේ සත්පුරුෂයා සහ අසත්පුරුෂයා කියන පුද්ගලයන් දෙදෙනා විසින්මයි. බුදුරජාණන් කෙරෙහි විශ්වාසයෙන් කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයම සොයාගෙන යන්න. කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින් කුසලයම ජීවිතයට එකතුකරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය සොයාගෙන යොදුන් දහස්‌ ගණනක්‌ වුවද දුර යන්න කියලා. කළ්‍යාණ මිත්‍රයන් මුණගැසෙන්න, සද්ධර්මය ශ්‍රවණය කරන්න, එම කළ්‍යාණ මිත්‍රයන් අනුව ජීවත් වන්න කියලා. ජීවිතය තුළින් කුසල පක්‍ෂය වැඩෙන විට අතීතයේ විපාක නොදී තිබූ කුසල් ශක්‌තිය අයෝමය ශක්‌තියක්‌ ලෙසින් මතුවී එනවා. යමෙක්‌ අකුසල් පක්‍ෂය නම් වඩන්නේ ඔහු තුළින් අතීත අකුසල් ශක්‌තියයි මතුකර දෙන්නේ.

අපි දක්‍ෂ වෙන්න ඕන අතීත භවයන්හිදී විපාක නොදුන් කුසල් ශක්‌තිය මතුකරගන්න. විපාක නොදුන් අප්‍රමාණ කුසල් ශක්‌තියක්‌ අපේ ජීවිත තුළ සැඟවිලා තිබෙනවා. අතීතයේ සමහර බුද්ධෝත්පාද කාලවල අපි ඉපදිලා ගොඩාක්‌ කුසල් දහම් කරගෙන තිබෙනවා. සමහර සම්මා සම්බුද්ධ ශාසනවලදී අපේ ආයුෂ අවුරුදු විසිදාහයි. සමහර සම්මා සම්බුද්ධ ශාසනවලදී අපේ ආයුෂ අවුරුදු හතළිස්‌ දාහයි, හැටදාහායි.... ආදී වශයෙන් දීර්ඝ ආයුෂ අපි වින්දනය කර තිබෙනවා. මෙවැනි දීර්ඝ ආයුෂ වින්දනය කරපු කාලවල අපි ගොඩාක්‌ පිංකම් සිදුකරගෙනත් උපාදන පච්ඡයා භවෝ කියන ධර්මතාවය නිසා අපි සතර අපායන්ට වැටිලා තිබෙනවා. සතර අපායට වැටුණාට පසුව සතර අපායෙන් ගොඩ ඒමක්‌ නැහැ. සතර අපායේ සත්වයන් තුළ ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ම වැඩෙන නිසා සතර අපායේ කාලය ඉතා දීර්ඝ වෙනවා. මේ හේතුවෙන් කළාවූ පිංකම් වලට විපාක දීමට ක්‍රමයක්‌ නැහැ. පිංවත් ඔබේ ජීවිත තුළ සැගවුණ මේ සියුම් තැන පිංවත් ඔබ නුවණින් මතුකරගන්න ඕන. සතර අපායන්ට වැටීම නිසා අතීතයේ විපාක නොදී තිබෙන මේ කුසල් කන්ද ඔබ මතුකර ගත යුතුයි.

මේ ජීවිතයේදී ඔබ සිදුකරගත් පිංකම්වලින් පමණක්‌ යෑපෙන්න උත්සාහ ගන්න එපා. එය ඔබට ප්‍රමාණවත් මදි. විදර්ශනා නුවණ මතුකරගන්න.

ඔබ විවේකීව සිටින වෙලාවට භාවනා මනසිකාරයක්‌ තුළ සිටින වෙලාවට අතීත අති දීර්ඝ සම්මාසම්බුද්ධ ශාසන පිංවත් ඔබ නුවණින් මෙනෙහිකොට දකින්න. එම අතිදීර්ඝ ආයුෂ වින්දනය කළ කාලවලදී ඔබ සිදුකළා වූ අයෝමය පිංකම් මනසින් මතුකරගන්න. අතීත බුදුරජාණන් වහන්සේලාගෙන් සද්ධර්මය ශ්‍රවණය කළහැටි සිහියට නගාගන්න. බුදුරජාණන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, රහතන් වහන්සේලාට සිව්පසය පූජාකළ සැටි සිහියට නගාගන්න. අතීත සම්මා සම්බුද්ධ ශාසන වලදී භික්‍ෂු, භික්‍ෂුණී වශයෙන් පැවිදි උපසම්පදාව ලබා ගත කළ පැවිදි ජීවිත නැවත නැවත නුවණින් මෙනෙහි කරන්න.

එම පැවිදි ජීවිත අර්ථවත් නොවීමට හේතුවූ කාරණා නුවණින් දකිමින් ජීවත්වෙන්න. විපාක නොදුන් මේ කුසල් ශක්‌තිය පිංවත් ඔබ වර්තමානයේ මතුකර ගන්න.මේ අතීත කුසල් ශක්‌තිය නුවණින් මතුකර ගැනීම තුළිනුත් වර්තමානයේ ඔබ කරන පිංකම් තුළිනුත් කුසලයේ අයෝමය ශක්‌තිය ඔබ මතුකර ගන්න. මේ කුසලයේ අයෝමය ශක්‌තිය ඔබ තුළින් මතුවී පැමිණෙනවාය කියන්නේ ඔබ තුළින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අයෝමය ලෙස වැඩෙනවාය කියන කාරණයයි.

පිංවත් ඔබට මේ කුසල් ශක්‌තිය විදර්ශනා නුවනින් දැකීමට මාර්ගය සකස්‌කර දෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව විසින්මයි. ඔබ පසුබිම සකස්‌කර ගන්න. විදර්ශනා නුවන කියන කාරණය ඔබ තුළ තවම වැඩෙන්නේ නැතිනම් ඔබ කලබල වෙන්න එපා. ඔබේ අතීත කුසල් ශක්‌තිය කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්න. වර්තමානයේ කුසල් තුළින් අතීත කුසල් ශක්‌තිය මතුකර ගන්න. එසේ නොවුණහොත් තවම පාරමී කියන මෝහමූලික සිතුවිල්ල ගොදුරක්‌ බවට ඔබ පත්වෙනවා.
ඉන්ද්‍රජිත් සුබසිංහ


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
සිනහවක්‌ දන් දෙන්න බැරි ඔබ
සෝවාන් වීමට කලබල නොවන්න...


සතර අපායෙන් මිදෙමු - 99 කොටස
සංසාර බිය -10



බුදුරජාණන් වහන්සේ යම් විනය කාරණාවක්‌ දේශනා කළා නම්, එම විනය කාරණා දුර්වල කරගැනීමෙන් ලැබෙන විපාකයන් කවදාවත් අඩුවක්‌ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පැනවීම් කවදාවත් කාලයට අනුව වෙනස්‌ වෙන්නේ නැහැ. අපි ධර්මයෙන් බැහැරව යනකොට, අපේ හිත රවට්‌ටාගෙන අමුතු ආරක්‍ෂාවක්‌ ලෙසින් විනය කාරණාවන් ලිහිල් කිරීමට ගන්නා වූ උත්සාහයක්‌ සමාජයේ තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අතීතයේ යම් විනය කාරණාවක්‌ පැනවූවා නම්, එම විනය කාරණා දුර්වල කරගැනීම තුළ, ලැබෙන ආදීනවය අදත් එදාමෙන්මයි. විනය කාරණා ලිහිල් කරගත්තාට එහි ආදීනවයන් නම් ලිහිල් වන්නේ නැහැ.

භික්‍ෂුවට මේ තැනට එන්න උපකාරී වුණේ මේ අතීත කුසල් ශක්‌තියමයි. මේ කුසල් ශක්‌තිය භික්‍ෂුව මතුකරගන්නේ ගිහි කාලයේ පිංකම් සහ සමාජසේවය තුළිනුයි. කොටින්ම අනුන්ව සතුටුකිරීම තුළින්. තමා ළඟට පැමිණෙන සේවාදායකයා තමා ළඟට පැමිණෙන කිනම් මනුෂ්‍යයෙක්‌ වුවද අවම තරමින් සිනාවකින් හෝ සතුටුකිරීමට ඔබට හැකිනම්, ඔබේ සතුට අනුනගේ සැපය උදෙසා කැපකිරීමට ඔබ දක්‍ෂනම්, එය තමයි ගිහි පිංවතාගේ අතහැරීම කියන්නේ. අනුන් සතුටුවෙනවා දැකලා එම සතුටින් ඔබේ ආධ්‍යාත්මය ශක්‌තිමත් කරගන්න. ඔබ වාඩිවෙලා යන බස්‌රථයේ ආසනය අවශ්‍ය කෙනකුට පරිත්‍යාග කිරීමට ඔබ අකමැතිනම් ඔබ සෝවාන් ඵලයට පත්වෙන්න කලබල වෙන්න අවශ්‍යවෙන්නේ නැහැ. ඔබ සිනාවකින් තව කෙනෙක්‌ සතුටු කරන්න අකමැතිනම් ඔබ සෝවාන් ඵලයට පත්වෙන්න කලබල වෙන්න එපා. 

පිංකමක්‌ සිද්ධකරනවිට සෑම මොහොතකම එම පිංකම විචිත්‍ර ආකාරයට සිද්ධ කරන්න. පිංකමක විචිත්‍රභාවය වැඩිවෙන්න වැඩිවෙන්න එම පිංකම අවසානයේදී ඔබ තුළ ඇතිවන අනිත්‍ය සංඥාවන්ගේ ප්‍රමාණය වැඩිවෙනවා. පිංකම විචිත්‍ර වෙනවිට එම පිංකම සංවිධානය කරන පිංවතුන්ගේ ලෝභී සිතුවිලි නැතිවෙනවා. පිංකමේ විචිත්‍රභාවය දකිනවිට භික්‍ෂුවට මතක්‌ වෙන්නේ භික්‍ෂුව ගිහි කාලයේ සිදුකළ විචිත්‍ර පිංකම්.

ගෙදරක සාංඝික දානයක්‌ තිබුණත්, පිරිත් පිංකමක්‌ තිබුණත් එය බොහෝම පිරිසිදුව විචිත්‍රව සිදුකළා. මට මතකයි මීට වසර විස්‌සකට විතර පෙරාතුව මගේ තාත්තා මියගිය අවස්‌ථාවේ හත් දවසේ බණ පිංකමට ගෙදර වටේ තිබුණ මල් ගස්‌වලට පාට පාට බල්බ්වැල් දැම්මා. මේක දැකලා බණ ගෙදර පැමිණි සමහරු මට කීවා බණ ගෙදරත් මඟුල් ගෙදරක්‌ කරගෙන කියලා. චෝදනාත්මක ස්‌වරූපයෙනුයි එය කීවේ. මට අවශ්‍යවුණේ පිංකම විචිත්‍ර ආකාරයෙන් සිද්ධකරන්නයි. ඒ විචිත්‍ර පිංකම් දැකලා සත්පුරුෂ දෙවියන්, මනුෂ්‍යයන් කොයිතරම් සතුටුවෙන්න ඇතිද? ඒ සතුටින් මම මගේ ආධ්‍යාත්මය ශක්‌තිමත් කරගත්තා. ඒ විචිත්‍ර පිංකම් වල ඵලය තමයි භික්‍ෂුව මේ මොහොතේ භුක්‌ති විඳින්නේ. එම නිසා භික්‍ෂුව භුක්‌ති විඳින මේ ඵලය, ඒ ලැබුව මාර්ගය පිංවත් ඔබලාට වළක්‌වන්න භික්‍ෂුව යන්නේ නැහැ. එම නිසා කුමන පිංකම් මහාසංඝරත්නය අරමුණු කරගෙන සිදුකළත් එම පිංකම පිරිසිදුව විචිත්‍ර ආකාරයට සිද්ධකරන්න. එය ඔබට අයෝමය ශක්‌තියක්‌ වෙනවා නිවන් මාර්ගය මෝදු කරගැනීමට.තෘෂ්ණාවෙන් දුරුවෙන මාර්ගය විවෘතකර ගන්න. 

නිවීම කියන්නේ විදර්ශනාවේ පමණක්‌ ඵලයක්‌ නොවේ. විදර්ශනා නුවණ සකස්‌කරගන්න කුසල් පක්‍ෂයේ අයෝමය ශක්‌තිය ඔබ තුළ මෝදුවෙන්න ඕනා. මේවා එකිනෙකට බැඳිලයි තියෙන්නේ. අයෝමය කුසල්ශක්‌තියේ පරිපූර්ණභාවයයි භික්‍ෂුවට විදර්ශනා නුවණ සකස්‌කරදෙන්නට මාර්ගය වුණේ. 

මේ සටහන ලියන්නේ ගිහි පිංවතුන්ලාට. එම නිසා ගිහි බැඳීම් තුළ සිටිමින්ම නුවණින් මේ කාරණා ජීවිතයට එකතුකරගන්න ඕන. ගෞරවණීය ස්‌වාමීන් වහන්සේලාටත් තවම විදර්ශනා නුවණ මෝදුකරගැනීමට ශක්‌තිය හීනනම් අපි උපක්‍රමශීලී වියයුතුයි. පිංවත් ඔබ උපක්‍රමශීලී නොවුණොත්, මට පාරමී මදිය කියන මුලාව තුළට කොටුවෙන්න පුළුවන්. 

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවියන්ට පිං අවශ්‍යයි. මනුෂ්‍යයාටත් පිං අවශ්‍යයි. පැවිද්දන්ටත් පිං අවශ්‍යයි කියලා. 

මෙතැනදී පැවිදි පක්‍ෂය පින මතුකරගත යුත්තේ තමන්ට පැවරිලා තිබෙන වත තුළින්. එසේ නොවුණහොත් ස්‌වාමීන් වහන්සේලා ගිහි පිංවතුන් සම්බන්ධ කරගෙන පිංකම් සිදුකිරීමට ගිහිල්ලා උතුම් ශීලයට හානි පමුණුවා ගන්නවා. ශිල්පද දුර්වල කරගෙන පිංකම් සිදුකරගෙන වැඩක්‌ නැහැ. එය අනුවණ ක්‍රියාවක්‌. 'වත' තුළින්මයි පැවිදි පක්‍ෂය පින මතු කරගත යුත්තේ. වැඩහිටි ස්‌වාමීන් වහන්සේලාට උපස්‌ථානය කිරීමෙන් ශිල්පද ආරක්‍ෂා කරගෙන ජීවත්වෙමින් භික්‍ෂු සමාජය තුළ සමගි සම්පන්නව ජීවත්වෙමින් කුසල්ශක්‌තිය මෝදුකරගැනීමට හැකියාව තිබෙනවා. දාන ශාලාව වැසිකිළි කැසිකිළි පිරිසිදු කිරීම, මළු පෙත් ඇමදීම ආදිය තුළින් අපි තුළ කුසල් මූලයන් ශක්‌තිමත් කරදෙනවා. තමන්ට වඩා බාල ස්‌වාමීන් වහන්සේලාට ප්‍රිය වචනයෙන් කථාකරන්න. අනුන් සතුටුවෙනවා දැකලා එම සතුටින් ඔබේ ආධ්‍යාත්මය ශක්‌තිමත් කරගන්න. දායක පක්‍ෂයට ප්‍රිය වචනයෙන් කථා කරන්න. නමුත් දායක පක්‍ෂයේ ප්‍රතිචාරයන්ට බැඳී යන්න නිරතුරුව ශීලානුස්‌සතිය වඩමින් ජීවත්වෙන්න. මොනම හේතුවක්‌ නිසාවත් විදර්ශනා නුවණ ඇතිකරගැනීමට ශක්‌තියක්‌ වෙන මේ කුසල් ශක්‌තිය දුර්වල කරගන්න එපා. මම කුසලයෙන් පරිපුර්ණ යයි තමා තුළ විශ්වාසයක්‌ ඇතිවෙන තැනට සිතුවිලි ශක්‌තිමත් කරගන්න. 

මෙතැනදී අමුතුවෙන් ඔබට කළයුතු දෙයක්‌ නැහැ. ඔබ තුළ සැඟවිලා තිබෙන දෙයයි ඔබ මතුකර ගතයුත්තේ. පිංවත් ඔබ දාන ශාලාවේ පඩික්‌කමක්‌ සේදීමට අකැමැතිනම්, ආරාමයේ වැසිකිළියක්‌ පිරිසිදුකිරීමට අකැමැතිනම්, රෝගී භික්‍ෂුවකට උපස්‌ථාන කිරීමට අකැමැතිනම් විදර්ශනාව ගැන කථාකිරීමට අප කලබල වියයුතු නැත. තව ගොඩක්‌ කුසල අපේ ආධ්‍යාත්මය තුළ තිබෙනවා පිරිසිදු නොවී. කුසලය තුළින්මයි මේ අපිරිසිදු කසළ සෝදාහැරිය යුත්තේ.

ඔබ මේ කාරණාවන් මේ මොහොතේ හදුනාගතහොත් මේ මොහොත ඔබේ ජීවිතය ලස්‌සනම මොහොත වෙනවා. ඔබ ශක්‌තිමත් බවට ඔබ තුළින්ම විශ්වාසය ඇතිවෙනවා. හීනමානය ඔබ තුළින් දුරුවෙලා යනවා. ජීවිතයට අයෝමය ධර්ම ශක්‌තියක්‌ මතුවෙනවා. මේ විශ්වාසය ඇතිවෙන මොහොතේම ඔබ තුළ විදර්ශනා නුවණ ඇතිවෙලා. මොකද ඔබ මේ විශ්වාසය ඇතිකරගන්නේ සංසාර බිය දකිමින්.

ඉන්ද්‍රජිත් සුබසිංහ

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ..
'ඔබ වහන්සේ රහත් වෙලාද?'
කියලා එක්‌ භික්‍ෂුවක්‌ ඇහුවා...

සතර අපායෙන් මිදෙමු - 100 කොටස

සංසාර බිය -10


බුදුරජාණන් වහන්සේ යම් විනය කාරණාවක්‌ දේශනා කළා නම්, එම විනය කාරණා දුර්වල කරගැනීමෙන් ලැබෙන විපාකයන් කවදාවත් අඩුවක්‌ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පැනවීම් කවදාවත් කාලයට අනුව වෙනස්‌ වෙන්නේ නැහැ. අපි ධර්මයෙන් බැහැරව යනකොට, අපේ හිත රවට්‌ටාගෙන අමුතු ආරක්‍ෂාවක්‌ ලෙසින් විනය කාරණාවන් ලිහිල් කිරීමට ගන්නා වූ උත්සාහයක්‌ සමාජයේ තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අතීතයේ යම් විනය කාරණාවක්‌ පැනවූවා නම්, එම විනය කාරණා දුර්වල කරගැනීම තුළ, ලැබෙන ආදීනවය අදත් එදාමෙන්මයි. විනය කාරණා ලිහිල් කරගත්තාට එහි ආදීනවයන් නම් ලිහිල් වන්නේ නැහැ.

මේ වස්‌සාන කාලය. වස්‌ තුන්මාසයෙන් හරි අඩක්‌ම ගෙවිලා ගිහිල්ලා. වේලාව පෙරවරු 10.30ට විතර ඇති. පරිසරයම අඳුරු කරලා. වැසි වැටෙනවා. කුටිය ඇතුළ හොඳටෝම සීතලයි. කළුවර මැකෙන්න කුටියේ ඉටිපන්දමක්‌ පත්තුකරලයි පිංවත් ඔබට මේ සටහන ලියන්නේ.

මේ දවස්‌වල ගම්මානයේ ගොවි මහත්වරු තම කුඹුරුවල බෝංචි වගා කරලා. පරිසරයේ වියළි කාලගුණය නැවතිලා. වැටෙන මේ වැස්‌ස ගොවි මහත්වරුන්ගේ බලාපොරොත්තු ශක්‌තිමත් කරනවා.

නමුත් බලාපොරොත්තු නැති හිස්‌ ජීවිතයක්‌ භික්‍ෂුව ඉදිරියේ තිබෙනවා. ඒ හිස්‌බව තුළ අපරාජිතභාවයකුත් තිබෙනවා. ඒත් එය භාහිර සමාජයට ප්‍රකට නැහැ. සමහර ගිහිපිංවතුන්ලා, සමහර ගෞරවනීය ස්‌වාමීන්වහන්සේලා භික්‍ෂුවට ඇවිත් කියනවා 'දායකයන් ආශ්‍රය කරන්න යන්න එපා. දායකයන්ගෙන් ඈත් වෙන්න. නගරයට යන්න එපා, කැලයේම වැඩ සිටින්න. ධර්ම දේශනා කරන්න යන්න එපා, දන්න දෙය වුව සඟවාගෙන සිටීම නුවණට හුරුයි ' කියලා. අවංකවම ඒ අයට බයයි. මේ භික්‍ෂුවත් ඉහත දේවල් වලට ගිහිල්ලා පිරිහිලා යයි කියලා. සශ්‍රික ගිහි දායක ඇසුරට වැටිලා පිරිහිලා යයි කියලා. ලැබෙන සිව්පසයට මංමුලා වෙලා වල්මත්වෙයි කියලා. ලැබෙන ප්‍රතිචාරයන්ට මත්වෙලා විකෘතියක්‌ වෙයි.... කියලා.

ඊයේ කුටියට භික්‍ෂුව මුණගැසෙන්න තරුණ ස්‌වාමීන්වහන්සේනමක්‌ පැමිණියා. උන්වහන්සේ භික්‍ෂුවට ප්‍රකාශ කළේ 'ඔබ වහන්සේ දැන් ප්‍රසිද්ධයි' කියලා. එහෙම කියලා උන්වහන්සේ සිනසුනා. ඒ සිනහව තුළ යම් යම් අර්ථයන් භික්‍ෂුව දැක්‌කා. එයින් ගම්‍ය වුණේ 'ඔබත් ප්‍රසිද්ධිය නිසා විනාශයට යනවා' කියන අර්ථයයි. 

භික්‍ෂුව මේ සටහනේ මුල සඳහන් කළා භික්‍ෂුවට තිබෙන්නේ බලාපොරොත්තුවලින් හිස්‌වූ අපරාජිත ජීවිතයක්‌ය කියලා. අපි මේ උතුම් ආර්ය අශ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරලා, ජීවිතය බලාපොරොත්තුවලින් හිස්‌ කළාට පස්‌සේ, නැවත ජීවිතයට පුරවාගැනීමක්‌ සිද්ධවෙන්නේ නැහැ. ඒ නිසයි භික්‍ෂුව අපරාජිතභාවය කියන වචනය පාවිච්චි කළේ. 

භික්‍ෂුවක්‌ උතුම් නිවන් මාර්ගයේදී අපරාජිතභාවය ලබන්නේ දිනුමත්, පැරදුමත් දෙකම පරාජයකොට දමලා. කඳුලත්, සිනහවත්, උපේක්‍ෂාවත් තුනම පරාජයකොට දමලා. මෙතැනට තමයි ලෝකෝත්තර සම්මා සතිය කියලා කියන්නේ. මේ සම්මා සතිය තුළ සකස්‌කොටගත් අපරාජිතභාවය නිරතුරුවම පාර පෙන්වන්නේ ලෝකය ඉදිරියේ පළවෙනියෙක්‌ වෙන්න ලෝකය ඉදිරියේ වීරයෙක්‌ වෙන්නවත් තවත් අසහාය චරිතයක්‌ වෙන්නවත් නොවේ. ලෝකයා ඉදිරියේ අන්තිමයා වෙන්නමයි. ලෝකයා ඉදිරියේ දෙවැනියෙක්‌ වෙන්නමයි. මොකද ඔහු සම්මා සතිය තුළින් ජීවිතයේ ඇලීමට අදාළ කුණු කන්දල්, ලාටු හිස්‌කරගත් කෙනෙක්‌. නිවන්මාර්ගයට පළිබෝධකයන් ලෙස දකිමින් ජීවිතයෙන් හිස්‌කොටගත් අපවිත්‍ර දෑ ඔහු නැවත ජීවිතයට පුරවාගන්නේ නැහැ. සම්මා සතිය කියන අර්ථයේ ශ්‍රේෂ්ඨභාවයයි ඔබ මේ දකින්නේ. ලෝකයේ උතුම්ම නිදහස උදෙසා නිවන් මාර්ගය අවහිර කරන, ලෝකයට බැඳෙන, ලෝකයට ඇලෙන සියලුම අපද්‍රව්‍ය ජීවිතයෙන් හිස්‌ කරනවා.

කල්ප සියක්‌ කෝටි ප්‍රකෝටි ගණනක්‌, සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ පසුකොට පැමිණි ගමනේ, තවම අපට ලෝකෝත්තර සම්මා සතිය කියන කාරණය සකස්‌කොටගන්න පුළුවන්කමක්‌ ලැබිලා නැහැ. එම නිසා ධර්මය දකින ඇස වැසිලයි තිබෙන්නේ, විෂම අපද්‍රව්‍ය වලින්. මේ අපද්‍රව්‍ය නිසාම අපි ලෝකයට බයයි. ලෝකයාටත් බයයි. මොකද ඔහු තාම පරාජිත චරිතයක්‌. අපරාජිතබවක්‌ ජීවිතය තුළ නැහැ.

සාරිපුත්ත මහරහතන් වහන්සේ වරක්‌ සිංහ නාදයක්‌ කරනවා, මම හරියට සිඟමන් සොයා යන රොඩී රැළක රොඩී දරුවෙක්‌ වගේය කියලා. හරක්‌ රැළක ඉන්න අං කැඩුණු ගොනෙක්‌ වගේය කියලා. උතුම් පැවිදි ජීවිතය කියන්නේ ලෝකයේ ඉදිරියේ පළවෙනියෙක්‌ වෙන්න තියෙන කැමැත්ත පරාජයකොට දැමීමට යන ගමනක්‌. ඔහු ලෝකය තුළ දෙවැනියෙක්‌ වුවත් පරාජිත ලෝකය හමුවේ අපරාජිත චරිතයක්‌. නිරතුරුවම අපිව ලෝකය ඉදිරියේ පළවෙනියෙක්‌ බවට පත්කරන්නේ අප විසින්ම පුරවාගත් බර නිසා. සක්‌කායදිට්‌ටි, විචිකිච්ජා, සීලබ්බත පරාමාස කියන බර, කාමරාග පටිඝයන්ගේ බර, පංචඋපාදානස්‌කන්ධය නිත්‍ය යෑයි කියන්නාවූ මෝහයේ බර නිසා අපි පුද්ගල සංඥාවට බැඳී යනවා. ගිහි ජීවිතය තුළ රූපයන් කෙරෙහි තෘෂ්ණාව නිසාම, ඉහත බන්ධනයන්ට අපි කොටුවෙනවා වගේම පැවිදි ජීවිතයේදී ශීලය, සමාධිය, හුදෙකලාව, විවේකය කියන බැඳීම් වලට බැඳී යනවා. අපි තවම ලෝකෝත්තර සම්මා සතියෙන් පරිපූර්ණ නැතිනම්, ගිහි දායක බැඳීම්, සශ්‍රීක සිව්පසය, ලාභ සත්කාර, කීර්ති ප්‍රසංශාවන් සර්පයන් හැටියටයි දැකිය යුත්තේ.

භික්‍ෂුව සාමණේර අවධියේ වැඩසිටි එක්‌තරා තුන් බිත්ති කුටියක, ලොකු හූනන් කිහිපදෙනෙක්‌ නිතර ගැවසුනා. හූනන්ව කෑමට ප්‍රියකරන කුණකටුවා කියන සර්පයා මැටි බිත්ති දිගේ බඩගාමීන් රාත්‍රියට හූනන් පසුපස හඹායනවා. ඒත් එදා භික්‍ෂුව එම කුණකටුවාට බිය වුණේ නැහැ. නමුත් එදා භික්‍ෂුව කුණකටුවාට වඩා දායක ඇසුරට, සශ්‍රීක සිව්පසයට, ලාභ සත්කාර, කීර්ති ප්‍රසංශාවලට බයවුණා. භික්‍ෂුවගේ පැවිදි ජීවිතයේ මුල් වසර හතර මනුෂ්‍ය සමාජය මගහැරලයි භික්‍ෂුව ජීවත් වුණේ. කාටවත් ධර්මයක්‌ දේශනා කළේ නැහැ. ඉහත ධර්මතාවයන් නිරතුරුවම සර්පයන් වශයෙන්මයි දැක්‌කේ. 

නමුත් වර්තමානයේ භික්‍ෂුවට ඉහත ධර්මතාවයන් කෙරෙහි බියවීමට අවශ්‍ය නැහැ. ඒ වුණත් ඔබට බියක්‌ දැනෙනවා. නමුත් භික්‍ෂුව බියෙන් මිදිලයි ජීවත් වෙන්නේ. භික්‍ෂුවට ඉහත කාරණය සපථ කිරීම උදෙසා ඔබට දෙන්න සහතිකයක්‌ නැහැ. පිංවත් ඔබට දිය හැකි එකම සහතිකය වෙන්නේ භික්‍ෂුව ආරක්‍ෂා කොටගත් උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයයි.

එක පිංවත් භික්‍ෂූන්වහන්සේනමක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා 'ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක්‌ද?' කියලා. භික්‍ෂුව එම ස්‌වාමීන් වහන්සේට ප්‍රකාශ කළේ, භික්‍ෂුව සටහන් තැබූ පොතපත තිබෙනවා, භික්‍ෂුව දේශනා කළ ධර්මය තිබෙනවා, පිංවත් ඔබ වහන්සේට මේවා පරිශීලනය කරලා කැමති තීරණයකට එන්න පුළුවන් කියලයි. භික්‍ෂුව සමාජය තුළ විවෘතව ජීවත්වෙන කෙනෙක්‌. එම නිසා භික්‍ෂුවගේ ශීලය, සමාධිය, ප්‍රඥාව කෙරෙහි චිත්‍රයක්‌ ඔබට අවශ්‍යනම් ඇඳගන්න පුළුවන්. එහෙම ඇඳගෙන කැමති තීරණයකට ඔබට එන්න පුළුවන්. ඔබේ තීරණය කුමක්‌ වුවත් එය භික්‍ෂුවට අදාළ වෙන්නේ නැහැ. මොකද භික්‍ෂුව ලෝකය ඉදිරියේ සිටින්නේ අන්තිමයා හැටියටයි.

හිස්‌ කරපු ජීවිතයක්‌.... අපරාජිත චරිතයක්‌....

මේ ලස්‌සන වචන දෙක භික්‍ෂුවගේ ජීවිතයට හොඳින් ගැලපෙනවා. භික්‍ෂුව ඕනෑම ගිහිපැවිදි පිංවතෙකුට අවවාද කරන්නේ මාර්ග ඵලය ගැන සිතන්න එපා. ආර්ය අශ්ඨාංගික මාර්ගය තුළ ශක්‌තිමත්ව ගමන්කරනවා කියන කාරණය පමණක්‌ සිතන්න කියලයි. මේ දුකෙන් නිදහස්‌වෙනවාය කියන කාරණය පමණක්‌ සිතන්න කියලයි. මේ මාර්ග ඵල උන්මාදය කියන්නේ ලෝකය හිනස්‌සන, ධර්මයේ අර්ථය විකෘති කරන කෙලෙස්‌ ගොඩක්‌. මාර ධර්මයන් විසින් වර්තමාන සමාජය තුළ උතුම් අධිගමනයන් හාස්‍යයට පත්කොට තිබෙනවා. විහිළුවක්‌ බවට පත්කොට තිබෙනවා.

නමුත් මේ මොහොත සද්ධර්මයේ දීප්තිමත්ම මොහොතක්‌. බුදුරජාණන් වහන්සේ අද දවස එදා දිවැසින් දකින්න ඇති. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන අධිගමලාභීන් පහළවෙන මේ උතුම් වර්තමාන කාලය, අධිගමලාභීන් සිංහනාද පවත්වන යුගයයි. තරුණ වීර්යවන්ත ස්‌වාමීන්වහන්සේලා හුදෙකලා වනසෙනසුන් තුළ, පන්සල් ආරාම තුළ වීර්යවන්තව ආර්ය අශ්ඨාංගික මාර්ගය වඩන යුගයයි. ගිහි පිංවතුන්ලා ගිහි බැඳීම් තුළ සිටිමින්ම සතර අපායෙන් මිදීමට වීර්යය වඩන යුගයයි. එම නිසා බුදුරජාණන් වහන්සේ දවස යම් ධර්ම ශක්‌තියක්‌ ලෝකය තුළ තිබුණාද, වර්තමානයේ එම ධර්ම ශක්‌තිය ලෝකය තුළ මෝදුවී තිබෙනවා. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මුල්ම රහතන් වහන්සේ කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ වගේම, මේ ශාසනයේ අවසාන මහරහතන් වහන්සේ වීමට ඔබට සුදුසු කාලය දැන් පැමිණ තිබෙනවා.

ඉන්ද්‍රජිත් සුබසිංහ