පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

දැකිය යුත්තේ සසර බියමය

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
'සතර අපායෙන් මිදෙමු' - 77 කොටස භාවනාවට පෙර දා v
මේ ධර්ම මාර්ගයේදී ඔබ යම් අවබෝධයක්‌ ලබනවා නම්, ඒ සෑම අවබෝධයක්‌ම ලබනුයේ ඔබ නොදැනුවත්ව නොවේ. සෑම අවබෝධයක්‌ම ලැබෙනුයේ ඥාන දර්ශනයන් සමගින්ය. ඥාන දර්ශන යනු උතුම් සමාධි ඵලයකදී දර්ශනයන් දකිමින් ලබන්නාවූ අවබෝධඥානයයි. මෙම ඥාන දර්ශනයන් යමෙක්‌ ජීවිතයේ දකින්නේ එක්‌ අවස්‌ථාවකදී පමණි. එම අවස්‌ථාවේදී භික්‍ෂුව එම ඥානය පිළිබඳව අවබෝධය ලබා අවසන්ය. ඉන් අනතුරුව ඕනෑම අවස්‌ථාවක එම ඥාන දර්ශනය සිහියට නගාගත හැකිය. ඒ ජීවිතයේ කොටසක්‌ බවට පත්වී අවසන්ය. මේ නිවීමේ මෙහෙයුමේදී භික්‍ෂුවක්‌ තුළ කාම, රූපී, අරූපි භවාත්‍රය පිළිබඳ අනිත්‍ය සංඥාවන් සතරසතිපට්‌ඨාන ධර්මතාවයන් වශයෙන්මයි වැඩෙන්නේ. 

මනුෂ්‍ය ලෝකය, දිව්‍යතල, බ්‍රහ්මතල මනසින් පීර පීරා බලනකොට මුලින්ම රූපයේ අසුභයමයි, මරණානුස්‌සතියමයි, සත්වයාගේ ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණමයි පෙනෙන්නේ. මිනිස්‌ රූප, ස්‌ත්‍රී පුරුෂ රූප, විවෘත කොට මනසින් බලමිනුයි නුවණින් මෙනෙහි කරන්නේ. ඕනෑම මිනිස්‌ රූපයක්‌ පමණක්‌ නොව, දිව්‍ය, බ්‍රහ්ම රූපයක්‌ පවා අට්‌ඨික සංඥාවෙන් දකින්න. අට්‌ඨික සංඥාව විනිවිදගොස්‌ දුහුවිල්ලක්‌, ගින්දරක්‌, සුළඟක්‌ ලෙස රූපයේ අනිත්‍යභාවය දකින්න එම භික්‍ෂුව තුළ විදර්ශනා ඥානය වැඩිලයි තියෙන්නේ. 

අරමුණු වන සෑම රූපයක්‌ම විදර්ශනා ඥානයෙන් විනිවිද දකිමින්, එම රූපයට ඇති ජන්ද රාගයෙන් මිදෙමින් ඉදිරියට යැම පමණයි භික්‍ෂුවට තිබෙන්නේ. රූපවාහිනී දර්ශන පථයක රූප එකක්‌ පසුපස, එකක්‌ එන්නේ යම් සේද, නොකඩවා රූපත්, එම රූප විදර්ශන ඥානයෙන් විනිවිද දකිමින් ලබන්නා වූ අවබෝධාත්මක ඥානයත් සමගින් ඉදිරියට ගමන් කරනවා. මේ ක්‍රියාන්විතය පුරාවට සිදුවන්නේ පංච උපාදානස්‌කන්ධය නැමැති මාරයාට කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර ධර්මයන් උපයෝගීකොටගෙන, තෘෂ්ණාවේ සළුවෙන් වසාගෙන සිටින, අනිත්‍යයේ යථාර්ථය විනිවිද දකිමින්, රූපයට ඇති තෘෂ්ණාවෙන් මිදීමය.රූපය ඇසුරින් සකස්‌වෙන පංචඋපාදානස්‌කන්ධයට ඇති ජන්දරාගයෙන් මිදීමය. 

සතර සතිපට්‌ඨාන ධර්මතාවයන් උපයෝගී කරගෙන රූපයේ අනිත්‍යභාවය විදර්ශනාවට ලක්‌කිරීමේදී සිදුවන ආශ්චර්යමත් සිදුවීම නම්, පිංවත් ඔබගේ අවංක වූ භව නිsරෝධයේ අරමුණු සාක්‍ෂාත් කරදීම සඳහා සප්තබොඡ්ජංග ධර්මයන් බලමුළු හතක්‌ ලෙසින් එකම දිශාවට අනුපිළිවෙළට ආධාරයට පැමිණෙන්නා සේ, තමා තුළින්ම හේතුඵල ධර්මයන් අනුව මෝදුවීමය. මේ ධර්මතාවයන් මොනවාද යන්න ඒ මොහොතේ සිතීමට, දැකීමට යැම ඔබට අයත් කාර්යයක්‌ නොවේ. මොකද සිතන්නට එහි නිත්‍ය වූ දෙයක්‌ නොමැති නිසාය. සප්තබො-ජංගයන්ට ඇලුනොත් එයද ආශ්වාදයක්‌මය. වැඩෙන සප්තබොඡ්ජංගයන්ගේද අනිත්‍යභාවය දකිමින්, තමාගේ පිහිටට පැමිණි සහය බලමුළුද විදර්ශනා ඥානයෙන්ම නිරුවත්කොට දැකිය යුතුය. එසේ නොවුනහොත් සප්ත බොඡ්ජංග ධර්මයනුත් මාරයා වනවා එකාන්තය. මන්ද පිංවත් ඔබ මේ අවබෝධකිරීමට යන්නේ ධර්මයයි. ධර්මයේ ස්‌වභාවයන් දෙකක්‌ නොමැත. ධර්මයේ කාලීන හෝ අතීත කියා දෙයක්‌ නැත. ධර්මයේ ගැඹුරු හෝ නොගැඹුරු කියා දෙකක්‌ නැත. ධර්මය යනු එකම අර්ථයකි. එම අර්ථය නම් අනිත්‍යයයි. එසේ නම් සප්ත බො-ජංග ධර්මයද අනිත්‍ය විය යුතුමය. මන්ද මේවාද ධර්මයන් නිසාය. පිංවත් ඔබ ඉහත ධර්මතාවයන් අවබෝධ කරගතහොත් එම ධර්මතාවයන් ආයාසයකින් තොරවම ඔබට අත්විඳීමට පුළුවන. එයද ධර්මතාවයක්‌මය. මේ සියලු ධර්මතාවයන්ගේ වඩාත් ආශ්චර්යමත් සිදුවීම වන්නේ, පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය අවබෝධ කරගැනීමට උපකාරී වූ සතර සතිපට්‌ඨාන ධර්මයනුත්, එම ධර්මතාවය හේතුවෙන් වැඩුණු සප්ත බොඡ්ජංග ධර්මයනුත් අනිත්‍ය වශයෙන් අවබෝධ වෙද්දී ඔහු චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබීමය.

සතර සතිපට්‌ඨාන ධර්මයන්ද, සප්තබොඡ්ජංග ධර්මයන්ද, භික්‍ෂුව තුළ වැඩෙන්නේ පංචඋපාදානස්‌කන්ධය ලෙසින්මය. භික්‍ෂුව නැවත ආපසු හැරී බලන විට ඉහත ධර්මයන් සියල්ලම පංච උපාදනස්‌කන්ධයේම අර්ථය බව මැනවින් ප්‍රකට වෙයි. පංචඋපාදානස්‌කන්ධය යනු ලෝකය බවත්, පංචඋපාදානස්‌කන්ධයෙන් තොර ලෝකයක්‌ නොමැති බවත් පැහැදිළිය.

ඉහතින් සඳහන් කළ අත්දැකීම කාගේ වුවද එය ඔබගේද, මගේද නිවීමේ මගට ශක්‌තියක්‌ වනු ඒකාන්තය. ඉකුත් ලිපිවලදී භික්‍ෂුව කියන්නට උත්සාහ කළේ සතර අපායේ බිය හොඳින් දැන භවය කෙරෙහි බියක්‌ සකස්‌කොට ගන්නා ලෙසය. සසර බිය නොදකින්නා කවදාකවත් සසරින් නොගැලවෙන්නෙකි. සතර අපායට බිය පිංවතාමයි ශීලය තුළ ශක්‌තිමත් වෙන්නේ. ශීලය තුළ ශක්‌තිමත් වූ පිංවතා තුළයි සමාධිය සකස්‌වෙන්නේ. සමාධිමත් පිංවතා තුළයි ප්‍රඥාව සකස්‌වෙන්නේ.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
සතර අපා දුක්‌ නොවින්ද කව්රුනම් ලොවේ සිටිත්ද
සතර අපායෙන් මිදෙමු - 78 කොටස
භාවනාවට පෙර IV


වර්තමානයේ ඔබට ඇසෙන දකින දේවල් තුළ සංසාරයේ බිය වසා දමලයි තිබෙන්නේ. ඕනෑම මනුෂ්‍යයෙක්‌ මියගියහම නැවත උපදින්නේ දිව්‍යලෝකයේමයි, මනුෂ්‍යයන් අතරමයි කියන දැක්‌ම සමාජයේ මුල් බැසගෙන තිබෙන්නේ. එසේත් නැතිනම් සුදු ඇඳුමක්‌ ඇඳගෙන තම මියගිය ඥාතියාව සිහිනෙන් දැක්‌කාය කියන දවල් හෝ රාත්‍රී සිහිනයකට මේ උතුම් හේතුඵල ධර්මයේ අර්ථය හීනකොට තිබෙනවා.

අවමංගල්‍ය නිවස ඉදිරිපිට එල්ලා ඇති 'නිවන් සැප ලැබේවා' කියලා සඳහන් බැනර දකිනකොට, නිවන් අවබෝධය කියන කාරණය සමාජය විසින් මොනතරම් සුළුකොට, ලඝූකොට දකිනවාද යන්න පැහැදිළියි. සමාජයේ බහුතරයක්‌ පිංවතුන් තම ඥාතිවරයෙක්‌ මියගිහයම, පංශුකූල පිංකමෙන්, එසේත් නැතිනම් හත් දවසේ පිංකමෙන් තම මියගිය ඥාතියාට ආශ්චර්යමත් උපතක්‌ ලබාදීමට උත්සාහ කරනවා. මේ කටයුත්ත වැඩිපුරම සිද්ධවෙන්නේ මළගෙදර ගුණකථනය කරන මහත්වරුන් අතින්. පිංවත් ඔබ, ඔබගේ මියගිය ඥාතිවරයෙක්‌ සුදු ඇඳුමක්‌ ඇඳගෙන ඔබ ඉදිරියේ සිහිනයෙන් පෙනී සිටියහොත් මොන තරම් ආශ්වාදයකින් ද ඒ පිළිබඳව කථා කරන්නේ. එක පැත්තකින් එය ඇත්තෙන්ම සිහිනයක්‌. අනෙක්‌ පැත්තෙන්, සුදු ඇඳුමක්‌ ඇඳගෙන සිටියත්, ඉහත ස්‌වභාවය පරදත්ත රූප ජීවී ප්‍රේතයෙක්‌ හෝ ප්‍රේතියක්‌. ඒ කියන්නේ සතර අපායෙන් මිදී නොමැති සත්ත්වයෙක්‌. මොකක්‌ ගැන සතුටුවෙන්නද? පරදත්ත රූප ජීවී ප්‍රේතයෙක්‌, ප්‍රේතියක්‌ ගැන අප සතුටු වෙනවානම්, එසේ සතුටුවන කෙනාට ප්‍රේත සංඥාවෙන් ඔබ්බට යන්නට අපහසු වෙනවා. ඒ නිසා පිංවත් ඔබ භාවනාවට පෙර, සතර අපාය කියන කාරණය හොඳින් වෙන්කොට හඳුනාගන්න. එසේ හඳුනාගත් කෙනායි, ඒ මායිමෙන් මිදෙන මාර්ගයට එන්නේ. ඉහත සටහන සම්පූර්ණයෙන් වෙන්කළේ සතර අපාය ගැනත්, කාම, රූපී, අරූපී භවාත්‍රය ගැනත් දැනීමක්‌ සකස්‌කර ගැනීම භාවනා කරන කෙනෙක්‌ට අවශ්‍යම කරුණක්‌ බව පැහැදිළි කරදෙන්නයි. ඉහත කාරණා දෙක විනිවිද දකින යෝගාවචරයායි, ඉන් මිදෙන දිශාවට ගමන් කරන්නේ.

දෙවැනි කාරණය නම් භාවනා කිරීමට පෙර සක්‌කාය දිට්‌ඨිය ගැන හොඳින් දැනගැනීමයි. මේ කාරණයේ අර්ථය නොදැන භාවනා කිරීමේ තේරුමක්‌ නැහැ. මෙහි කෙටිම අර්ථය, මමත්වයේ දැඩි ස්‌වභාවය යන්නයි. සංසාරයක්‌ පුරාවට කැටිකොට ගලාගෙන පැමිණි, තන්හා මාන්න දිශ්ටීන්ගේ රුව ගුණයයි. 

එක පිංවතියකට භික්‍ෂුව සඳහන් කළා, ඔබත් මමත් අනෙකුත් පිංවතුනුත් සංසාරයේ සශ්‍රික දිව්‍යතල, රූපී, අරූපී බ්‍රහ්ම තල වල කල්ප ගණන් සැප විඳ ඇති බව. ඇය ගත් කටටම ප්‍රකාශ කළේ, ඇත්තටම හාමුදුරුවනේ මම එහෙම ඉඳලා තිබෙනවාද? කියලා. භික්‍ෂුව ප්‍රකාශ කළේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව, එය එසේමයි කියලා. ඒ අවස්‌ථාවේ ඇය දැඩිලෙස සතුට ප්‍රකාශ කළා. නැවත භික්‍ෂුව ප්‍රකාශ කළා, ඔබත් මමත් කල්ප ගණන් සතර අපායේ, තිරිසන්, ප්‍රේත නිරයේ මෙන්ම අසුරයන් වශයෙන්ද ඉපිද ඇති බව. ඒ මොහොතේ ඇය දැඩි නොරිස්‌සුම් ස්‌වභාවයෙන් ප්‍රකාශ කළේ, තමා සතර අපායේ කිසිවිටකත් නොසිටි බවයි. බලන්න මුල් කාරණයේදී ඇය සතුටු වුණා. දෙවැනි කාරණයේදී ඇය දැඩි විරෝධයක්‌ දැක්‌වුවා. මේ අවස්‌ථා දෙකේදීම, ඇය තුළ ඇති සක්‌කාය දිට්‌ඨියේ ලක්‍ෂණයි ප්‍රකාශ වුණේ.

සමහර පිංවතුන් සිටිනවා, අපි සතර අපාය ගැන කථාකරනවාටත් අකමැතියි. ඒ අකමැත්ත තුළ තිබෙන්නේ සක්‌කාය දිට්‌ඨියමයි. මේ සටහන් කරන භික්‍ෂුව වැඩියෙන්ම කැමති, සතර අපාය ගැන කථා කරන්නයි. මොකද සතර අපාය කෙරෙහි ඇතිවූ බියමයි, මේ සටහන ලියන්න අවශ්‍ය අවබෝධය භික්‍ෂුවට ලබාදුන්නේ. භික්‍ෂුව අභිමානයෙන් කියනවා, අතීත බවයන්හිදී මා සතර අපායන් හී සෑම බිම් අඟලක්‌ම ස්‌පර්ශ කළ අයෙක්‌මය කියලා. පිංවත් ඔබ ධර්මය නොදැන කෙසේ නම් ධර්මය අවබෝධ කරගන්නද? 

පිංවත් ඔබ නිහතමානී වෙන්න. යම් පිංවතෙකුට සිතෙනවානම්, තමා සතර අපායේ ඉපදී නැතැයි කියලා, ඔහු මෝහයේ ආගාධය තුළ සිටින කෙනෙක්‌ බව සිහිකරන්න. එම සිතිවිල්ලෙන් ඔබ මිදුනොත්, එය මේ ජීවිතයේදී ඔබ සිතූ උතුම්ම සිතිවිල්ල වෙනවා. කරුණු හරියාකාරව නොදැන භාවනා කිරීම, සක්‌කාය දිට්‌ඨිය වැඩීමට හොඳ තෝතැන්නක්‌ වෙනවා. මේ කාරණය ගැන පරෙස්‌සම් නොවුණහොත්, භවනාවේ නාමයෙන් අපි වඩවාගෙන ඇත්තේ මමත්වයේ දැඩිභාවයම හෙවත් සක්‌කාය දිට්‌ඨියමයි. 

භාවනාව තුළින් සිදුවන්නේ යමක්‌ අල්ලාගැනීම නොව, අල්ලාගෙන ඇති දෙය අතහැරීමය. අල්ලාගත් දේවල් අතහැරෙන්න, අතහැරෙන්න ඔබ තුළ සකස්‌වෙන්න ඕනා නිහතමානී බවමයි. මමත්වය අඩුවෙන්න ඕනේ. මේ ගැන හොඳ අවබෝධයක්‌ භාවනාවට පෙර ඔබට තිබෙන්නට ඕනේ. පිංවත් ඔබ මමත්වයේ දැඩිභාවයෙන් ගන්නේ රූපයයි. වේදනාවයි. සංඥාවයි. ෙච්තනාවයි. විඥාණයයි. එම නිසා භාවනා කරන පිංවතා නිරතුරවම ස්‌වයං පරීක්‍ෂණයක්‌ කරන්න ඕනේ, ඉහත ධර්මතාවයන් කෙරෙහි ඔබේ තෘෂ්ණාව අඩුවෙනවාද කියලා. 

මීළඟට භාවනා කිරීමට පෙර පට්‌ච්ඡ සමුප්පාද ධර්මය ගැන හොඳන් දැනුවත් විය යුතු වෙනවා. ලොව්තුරු සම්මා සමබුදු ඥාණයන් අවබෝධකොට සත්වයාගේ බව දුක නිවීම සඳහා අර්ථවත්ව, ක්‍රමනුකූලව දේශනාකර ඇති පට්‌ච්ඡසමුප්පාද ධර්මය, අවිද්‍යාවේ පටන් හේතුඵල ධර්මයන්ට අනුව ජාති, ජරා, ව්‍යාධි, මරණ දක්‌වා සත්වයාගේ භව ගමන හොඳින් පැහැදිළිකොට තිබෙනවා.

මෙතැනදී අවිද්‍යාව සකස්‌වීමට හේතුව මුළින්ම ඔබ දැනගතයුතුයි. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අවිද්‍යාව සකස්‌වෙන්නේ පංච නීවරණ ධර්මයන් නිසාය කියලා. පංච නීවරණයන් ඇතිවෙන්න හේතුව කාය, වාග්, මනෝ අකුසලයන්ය කියලා. මේ සියල්ලටම හේතුව යෝනිසෝ මනසිකාරය කියලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ. මේවා නැතිකරගැනීමට නම්, කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය අවශ්‍ය වෙනවා. අවිද්‍යාවේ පටන්, හේතුඵල ධර්මයන්ට අනුව සකස්‌වෙන සෑම ධර්මතාවයක්‌ම, එක හා සමාන වටිනාකමින් දකින්න වෙනවා. මොකද එක ධර්මතාවයක්‌ හේතුවෙනුයි අනෙක සකස්‌වෙන්නේ. එම නිසා අපට අවශ්‍ය ආකාරයට එක ධර්මතාවයක්‌ හෝ දෙකක්‌ වෙන්ව අරගෙන ප්‍රතිඵල දකින්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනාකෙට වදාල පරිදි මුල මැද අග වශයෙන් අර්ථවත්ව දැකීමට ඔබ උත්සහ ගතයුතුයි. අවිද්‍යාව අමතකකොට වෙන කිසිම ධර්මථාවයක නිරෝධයක්‌ ගැන සිතීම පවා අර්ථ විරහිත ක්‍රියාවක්‌ වෙනවා. පටිච්ඡසමුප්පාදය නොදැන කරන භාවනව කවදාවත් ඔබට නිවීමේ ඉලක්‌කය සඳහා යොමුකර ගැනීමට අපහසු වෙනවා. භාවනාව තුළින් අපි සැවොම අරමුණු කරන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධය, ඒ කියන්නේ අවිද්‍යාවේ නිරෝධයයි. එහෙමනම් දුක කුමක්‌ද? දුකට හේතුව කුමක්‌ද? කියන කාරණය තමයි පටිච්ඡසමුප්පාද ධර්මයේ අන්තර්ගතය. 

මෙතැනදී විශේෂයෙන්ම එක කාරණයක්‌ ගැන සඳහන් කරනවා. ඒ තමයි උපාදානය කියන කාරණය. උපාදානයයි භවය සකස්‌කර දෙන්නේ. මේ කාරණය භාවනා කරන, නොකරන කාට වුවද හුඟාක්‌ වටිනවා. මොකද භාවනාව කළත්, පිංකම් සිදුකළත් අපි තුළ බොහෝ වෙලාවට වැඩෙන්නේ තන්හා, මාන්න, දිට්‌ඨි කියන කාරණාමයි. මේ කාරණා නිවැරදි කරගන්න පට්‌ච්ජසමුප්පාද සමුදය, නිරෝධය ක්‍රියාවලිය ජීවිතයේ කොටසක්‌ බවට පත්කරගන්න. ඔබ බුදුරජාණන්වහන්සේ වන්දනා කරන අවස්‌ථා වලදී භාවනාවට පෙරාතුව දිනපතා පටිච්ඡ සමුප්පාද ධර්මයේ අර්ථය දකිමින් සඡ්ජායනා කරන්න. මෙනෙහි කරන්න. භාවනා කරන පිංවතෙකුට සුවඳ දුම්, සුවඳමල් පූජාකරනවාට වඩා එය ගොඩක්‌ උපකාරී වේවී. මොකද ඔබ යමක්‌ පූජා කිරීමට පෙරාතුව, එම පූජාව අර්ථවත් වෙන්න නම්, ඔබ ඒවා පූජා කරන්නේ කුමන ගුණයන්ටද, ඥාණයන්ටද කියන අවබෝධය ඔබතුළ තිබිය යුතු වෙනවා. එම අවබෝධය මත සිටිමින් බුදුරජාණන්වහන්සේ වන්දනා කිරීම තමයි වඩාත් අර්ථවත් වෙන්නේ. එසේ කිරීමට පිංවත් ඔබට අපහසුනම්, සුපුරුදු පරිදි වන්දනා කටයුතු සිදුකරගන්න. කවදාවත් ඒවා අපතේ යන්නේ නැහැ.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


මෛත්‍රී භාවනාව කියන්නේද අතහැරීමකි
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....
සතර අපායෙන් මිදෙමු - 79 කොටස
භාවනාවට පෙර VII

භාවනා කරන බොහෝ දෙනෙක්‌ උපාදානය කියන කාරණයේ බරපතළ බව නොසිතන බව පෙනෙනවා. උපාදානයේ තිබෙන අනතුර තේරුම් ගැනීමට පිංවත් ඔබ සියුම්ව ඔබේ ජීවිතය දෙස බැලිය යුතුවෙනවා.
ඔබ පසළොස්‌වක පොහොය දවස ගැන සිතන්නකෝ. ලක්‍ෂ කීයක්‌ පිංවතුන් එදාට සිල්සමාදන් වෙනවාද? විහාරස්‌ථානවල. නමුත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනාටද පුළුවන් පසුදා උදෑසන දක්‌වා සිල් පවාරනය නොකොට විහාරස්‌ථානයේම නවතින්න. සවස හතර වනවිට ගෙදර පිළිබඳ උපාදානය සකස්‌වෙනවා. පිංවත් ඔබට පුළුවන්ද එක දවසක්‌ ගෙදර අතහැරලා පිට ප්‍රදේශයකට ගොස්‌ ඉන්න. ඔබට පුළුවන්ද සතියක්‌ ඔබේ ඥාතීන්ගෙන්, ගෙදරින්, ව්‍යපාරයෙන් මිදිලා වන්දනාගමනක්‌ යන්න. භාවනා වැඩසටහනකට යන්න. උත්තරය 'බැහැ'නම් ඔබ සිතන්න ක්‌ෂණිකව ඔබ මියගියහොත් කෙසේනම් ඉහත උපාදානයන් අතහැරගන්නද? කියලා. ඔතැනට තමයි, භවය සකස්‌කරන උපාදානය කියන්නේ.

වර්තමානයේ වයොවෘද්ධ අම්මලා තාත්තලා හුඟදෙනෙකුට බැහැ නිවසින් බැහැරව දින දෙක තුනක්‌ ගතකරන්න. ගෙදර මතක්‌වෙනවා. දරුමුණුපුරන් මතක්‌වෙනවා. 'මගේ තැන' මතක්‌වෙනවා. එම නිසා භාවනා කිරීමට පෙර උපාදානයේ හැඩරුව හොඳින් හඳුනාගන්න. හැකිතාක්‌ පිංකම් උදෙසා තමන් අර්ථවත් ලෙස දකින බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථයම කියන ගුරුවරුන් වෙතට යන්න. එම ස්‌ථාන සොයායන්න. දරුමුණුපුරන් විසින් හැකිතාක්‌ තම දෙමාපියන්, ආච්චිලා, සීයලා නිවසින් බාහිර පිංකම් සදහා යොමුකරවන්න. ගෙදර අතහැර සතියක්‌ දෙකක්‌ ගතකිරීමට පුරුදුකරන්න. නමුත් පිංවත් ඔබට ඉහත කාරණා කෙරෙහි බලවත් තෘෂ්ණාවක්‌ නැතිනම් විවේකීව නිවසේම තම භාවනා කටයුතු සිදුකරගන්න. එය වඩාත් ඔබට පහසුවේවි. 

සෑම විටම ඔබගේ උපාදානය , ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ 'සම්මා වායාමෝ' අර්ථය දිශාවට යොමුකරගන්න දක්‍ෂවෙන්න. පටිච්චසමුප්පාද ධර්මයේ උපාදානය ගැන මෙහි විශේෂයෙන් සඳහන් කළද අනෙකුත් සියලුම ධර්මතාවයන් එක හා සමාන වැදගත් බව සලකන්න. දුක ඇතිවීමට හේතුවත් දුක නිරුද්ධ වීමට හේතුවත් හේතුඵලධර්මයන්ට අනුව දකින්න උත්සහගන්න. මෙහෙම දකිනවිට 'අතීතයේ මම සිටියාය. අනාගතයේ මම සිටින්නේය, වර්තමානයේ මම සිටිමි' යන ආත්මීය කාරණය ඔබෙන් බැහැරවේවි. මෙතැනදී තමයි සක්‌කාය දිට්‌ඨ§ය ඔබෙන් ගැලවිලා යන්නේ. සක්‌කාය දිට්‌ඨ§ය ඔබ තුළින් පෝෂණය වෙන්නේ නිත්‍ය වූ ස්‌ථිර වූ පාලනය කළ හැකි පුද්ගලයෙක්‌ ආත්මයක්‌ ඉන්නවාය කියන කාරණය නිසා. මේ මුසාවාදයෙන් ඔබ මිදෙන්න ඕනේ. සතර අපායෙන් නොමිදුන පිංවතා තවම ශීලයෙන් පරිපූර්ණ නැතිය කියන්නේ ඉහත කාරණය නිසා. භාවනා කිරීමට පෙර ඇත්ත දැනගන්න. වැරැදි නිවරැදිකරගන්න.

අවිද්‍යාපච්චයා සංඛාරා, සංඛාර නිසයි විඤ්ඤාණය සකස්‌වෙන්නේ. විඤ්ඤාණය හේතුවෙනුයි නාමරූම සකස්‌වෙන්නේ. නාමරූප හේතුවෙනුයි සලායතන සකස්‌වෙන්නේ. මමය කියල ඔබ ගොඩනඟාගත් පුද්ගල සංඥාව පියවරෙන් පියවර ඔතනයි තිබෙන්නේ. එම නිසා වෙඩි තැබීමට පෙර නිවැරැදි ඉලක්‌කය සාදාගන්න. එසේ නොවුණහොත් විරුද්ධවාදීන් වැඩිවීම පමණයි සිදුවන්නේ. එම නිසා දුක ඇතිවීමට හේතුවන ක්‍රියාවලියන් දුක්‌ඛ නිරෝධයට හේතුවෙන ක්‍රියාවලියන් ගැන නිරතුරුවම භාවනාවක්‌ වශයෙන් මෙනෙහිකරන්න. 

මීළඟ කාරණය පිංවත් ඔබ භාවනා කිරීමට පෙර යහපත් මනුෂ්‍යයෙක්‌ විය යුතුයි. මේ සටහන ලියන්නේ ගිහි පිංවතුන් සඳහාය. දෙමාපියන්ට, ඥාතීන්ට ගරුකරන මනුෂ්‍යයෙක්‌ විය යුතුයි. සංඝයා වහන්සේලාට ගරුකරන මනුෂ්‍යයෙක්‌ විය යුතුයි. සමාජයේ යුතුකම් දන්නා, යුතුකම් ඉටුකරන මනුෂ්‍යයෙක්‌ වන්න. මන්ද යුතුකම් යනු ඔබ ලබාගත් අයිතිවාසිකම්වලට කරන ගෙවීමයි. පිංවත් ඔබ ලෝකය අතහැරීම පිණිස භාවනා කිරීමට පෙර පහත කාරණා ඔබගේ ජීවිතය තුළින් කළ හැකිදැයි විමසාබලන්න.

ඔබ සිතන්න ඔබ කොළඹින් බස්‌රථයක නැගලා කතරගම යනවා කියලා. සෙනග පිරුණු බස්‌රථය මොරටුqවේ බස්‌නැවතුමේ නවත්තපුවාම කුඩා දරුවෙක්‌ වඩාගත් අම්මාකෙනෙක්‌ එසේත් නැතිනම් ඉතා වයෝවෘද්ධ ආච්චිකෙනෙක්‌ බසයට නගිනවා. දෙපාරක්‌ නොසිතා ඔබගේ ගමනාන්තයට තව ඇති දුරගැන නොසිතා ඔබ කැමත්ත සකස්‌වෙනවාද සෙනග පිරී ඇති බසයේ ඔබගේ ආසනය ඇයට හෝ ඔහුට පරිත්‍යග කරන්න. ඔබට මෙය කරන්න බැරිනම්, ඔබට එවැනි පරාර්ථකාමී සිතක්‌ තවම සකස්‌ කරගන්න බැරිනම්, ඔබ කෙසේනම් ලෝකය අතහරින්නද? පාරේ දුවයන බසයක ප්‍රවේශ පත්‍රයක්‌ මිලදීගැනීම නිසා පැය කීපයකට ලැබුණු ආසනය අතහැරීමට නොහැකිනම් භාවනාකිරීමට පෙර මෙවැනි පුංචි අතහැරීමක්‌ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න පුරුදුවන්න. තමා ලබන සැප පහසුව තාවකාලිකව හෝ අනුන් උදෙසා පරිත්‍යාග කිරීමට අකමැතිනම් කෙසේ මේ නාමරූම ධර්මයන් අතහැරීමට යොමුවන්නද?අවම වශයෙන් මෛත්‍රිභාවනාව අර්ථවත් කරගැනීමට යොමුවන්නද.

මෛත්‍රිභාවනාව කියන්නේ අතහැරීමක්‌. කුමක්‌ද අතහැරෙන්නේ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය. මේවා අත්හැරෙද්දී ඔබ තුළ අන්‍ය මිනිසුන් කෙරෙහි කරුණාවක්‌ සකස්‌විය යුතුයි. එහෙම සකස්‌ වුණොත් බස්‌රථයේ ආසනය පරිත්‍යග කිරීම බොහොම සුළුදෙයක්‌. එහෙම නොවෙනවානම් මෛත්‍රියේ නාමයෙන් ඔබ තුළ වැඩී ඇත්තේ සක්‌කාය දිට්‌ඨsයයි.

ඉන්ද්‍රජිත් සුබසිංහ