පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

කමටහන මගහැර කවරනම් භාවනාවක්‌ද?

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
සතර අපායෙන් මිදෙමු - 80 කොටස භාවනාවට පෙර VIII


ඔබ දවසේ පැය විසිහතරෙන්ම පැය විසි දෙකක්‌ම නිත්‍ය සංඥාවන් වඩල නිත්‍ය සංඥාවන් සමග ජීවත්වෙලා පැය දෙකක්‌ පමණක්‌ අනිත්‍ය සංඥාවට යොමුවෙලා භාවනාවක්‌ කරලා කෙසේ නම් මේ කාරණා දෙක සමබර කරගන්නද? 

තරාදියෙ එක පැත්තකට පැය විසිදෙකක්‌ අනෙක්‌ පැත්තට පැය දෙකක්‌ දැම්මොත් ඔබට තේරෙවි එහි පරතරය.

එම නිසා විශේෂයෙන්ම විදර්ශනා භාවනා කිරීමට කැමති පිංවතුන්ලා දවසේ සෑම කාර්යක්‌ෂම කමටහනක්‌ කරගැනීමට දක්‍ෂ විය යුතුයි. වැසිකිළි කැසිකිළි කිරීමේදී ඔබට පුළුවන් ආහාරයේ අනිත්‍ය බව දකින්න. ඔබ සුවඳවත් කරන පිරිසිදු කරන ශරීරයේ අනිත්‍ය භව දකින්න. ඔබ නින්දට යන වෙලාවට ඔබට පුළුවන් ගෙවුන දිනය පුරාවට ඔබ සිදුකළ ක්‍රියාවන්ගේ අනිත්‍ය ස්‌වභාවය දකින්න. කුමන ඉරියව්වකින් සිටියත් ඔබ ඇස අරමුණුකරගෙන 'ඇස අනිත්‍යයි, අනිත්‍යයි.......' වශයෙන් දකිමින් සිටින්න. එවිට ඔබට පුළුවන් බාහිර රූපයන්ගෙන් ඇස හුදෙකලා කර ගන්න. එහෙම දිගින් දිගටම දකින්න. එවිට ඔබට වැටහෙනවා ඇසත් බාහිර රූපත් ඔබට අයිති නැති ස්‌වභාවය. කන, නාසය, දිව, මනස, කය යන අනෙක්‌ ආයතන ගැනත් එසේ දකින්න. මෙය කිරීම සඳහා ඔබ එරමිනියා ගොතාගෙන සිටින්නම අවශ්‍ය නැහැ.

බස්‌ රථය තුළ වාඩිවෙලා යන විට ඔබේ ඇස බාහිර රූප කෙරෙහි දුවනවානම්, මනසේ වේගවත්ව සිතුවිලි ඇති වෙනවා නම් ඔබට ඉහත අරමුණු දකින්න පුළුවන්. භාවනා කිරීමෙන් අර්ථයක්‌ ලැබීමට නම් ඔබ ජීවිතයේ ලැබෙන සෑම අවස්‌ථාවකදීම සෑම අත්දැකීමකදීම ඒවා කමටහනක්‌ කර ගැනීමට දක්‍ෂවිය යුතුයි. 

පිංවත් ඔබට උදාහරණයක්‌ පැහැදිලි කරන්නම්. භික්‍ෂුව ගිහි කාලයේ ප්‍රධාන නගරයක පයින් ගමන් කළා. මහපාර අයිනේ වයෝවෘද්ධ යාචක කාන්තාවක්‌ හිටියා. ඇය අසල අතින් තල්ලු කරන කරත්තයක්‌ තිබුණා. ඒ අසලම බල්ලෙක්‌ සිටියා. මේ වයෝවෘද්ධ කෘශ කාන්තාව දෙකට නැවිලා බුදු අම්මෝ කියමින් විලාප නගමින් තම ගුද මාර්ගයෙන් එළියට ඇවිත් තිබෙන අඟල් හයක්‌ පමණ දිගැති ආනමාළු ගෙඩියක ප්‍රමාණයේ මස්‌ දඟරයක්‌ ශරීරය ඇතුළට ඔබනවා. මෙය අර්ශස්‌ රෝගයේ දරුණුම අවස්‌ථාවක්‌. ප්‍රසිද්ධියේ පාර අයිනේ මේ සිද්ධිය සිද්ධ වුණේa. ඒ වයෝවෘද්ධ යාචක අම්මාට තේරුමක්‌ නැහැ අවට පරිසරය ගැන, මිනිස්‌සු ඉන්නවාය දකිනවාය කියන කාරණය. ඇයගේ වේදනාව විසින් ඇයට ඉහත කාරණය ඇයට අමතක කරලා. මිනිසුන් සිය ගණනින් ඒ අසල පාර දෙපැත්තේ ගමන් කළත් එකම මනුෂ්‍යයෙක්‌වත් ඒ සිද්ධිය දෙස බලන්නේ නැහැ. මොකද එය ඒ තරමටම අපුල අපුල, බියගන්වන දර්ශනයක්‌. නමුත් ගිහියෙක්‌ වශයෙන් එදා මේ භික්‍ෂුව ඒ කාන්තාවගේ සෑම ඉරියව්වක්‌ දෙසම මා හොඳින් බලාගෙන ගියා පමණක්‌ නොව ආපසු හැරී නැවත ඒ දර්ශනය දෙස නුවනින් බැලුවා. ඒ වෙලාවේ ගිහියෙක්‌ වශයෙන් මම ඒ දර්ශනය තුළ කාය, චිත්ත, ධම්ම, වේදනා කියන ධර්මතාවයන් දැක්‌කා. අසුභය මරණානුස්‌සතිය දැක්‌කා. සංස්‌කාර ධර්මයන්ගේ අමිහිරි උමතු ප්‍රතිඵල දැක්‌කා. 

මෙවැනි දර්ශනයක්‌ සිදුවීමක්‌ දකින්න අපුලනම් අමිහිරිනම් ඔහු කෙසේනම් භාවනාවෙන් ප්‍රතිඵල ලබන්නද? මේ ඔබ දකින්නේ ඔබේ ශරීරයේ ස්‌වභාවයයි. අතීතයේ ඔබද අත් විඳි ස්‌වභාවයයි. අනාගතයේදී රූපයට උරුම අවස්‌ථාවයි. අනුනගේ දුක ඔබ ඔබේ ජීවිතයට ගලපා බලන්න දක්‍ෂවෙන්න. එම දුගී යාචක මව තුළින් ඔබ ඔබව දකින්න දක්‍ෂවෙන්න. ඇසට පෙනෙන, කනට ඇසෙන, මනසට දැනෙන ධර්මය මගහැරයැමෙන් වළකින්න.

පිංවත් ඔබ මේ ආකාරයට දිනය පුරාවට දකින සිදුවන සියලු ක්‍රියාකාරකම් කමටහනක්‌ හැටියට හැකිතාක්‌ දකින්න උත්සහගන්න. එහෙම කළොත් ඔබට පුළුවන් වෙනවා පෙර සඳහන් කළ නිත්‍ය, අනිත්‍ය සංඥා කිරාබැලූ තරාදිය යම් ප්‍රමාණයකට සමබර කර ගන්න. මෙහෙම පුහුණුවක්‌a ලැබුවොත් ඔබ විවේකීව භාවනාවට යොමුවුනාට පස්‌සේ පංචනීවරණ වලින් ඔබේ මාර්ගය අවහිරවීම හුඟක්‌ දුරට අඩුකරගැනීමට හැකියාව තිබෙනවා. මොකද රූපයක්‌ අභියස එය අනිත්‍යයි කියන කාරණය දකින්න දැන් ඔබ පුහුණුවක්‌ ලබා ඇති නිසා. එය අවබෝධයක්‌ නොවේ මාර්ගය වැඩීමට ලැබෙන පිටුවහලක්‌ වේවී. 

මීළඟට භාවනා කිරීමට පෙර ඔබ විසින් අවධාරණය කළ යුතු විශේෂ දෙයක්‌ තමා දසකුසල් කියන කාරණයේ අර්ථය. විශේෂයෙන්ම සුදුවත් දරාගත් පිංවතුන්ලා මේ කාරණයේදී දුර්වලතාවයන් දකිනවා. එම පිංවතුන්ලා අවංකවම තම ශීලය ගැන විශ්වාසයකින් පසුවෙන්නේ. එම විශ්වාසය තුළ පංචශීලය එසේත් නැතිනම් ආජීව අට්‌ඨමක ශීලය සමාදන් වෙනවා. ඔබ සමාදන් කළ ඉහත ශීලයන් දෙක තුළම දසකුසල් වලට අදාළ වන කාරණා හතක්‌ම ආවරණයවෙලා තිබෙනවා. කයෙන් සිදුවන්නාවු අකුසල් තුනක්‌ වචනයෙන් සිදුවන්නාවු අකුසල් හතරක්‌ ඔබෙන් වැළකෙනවා. නමුත් පිංවතුනි වඩාත්ම ප්‍රබල මනසින් සිදුවෙන්නාවු අකුසල් තුන ලෝභ, ද්වේශ, මෝහ කියන කාරණා තුන නිරතුරුවම අපි මගහැරෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ කර්මයන්මයි බලවත් කියලා. පිංවත් ඔබ සතුන් මරන්නෙ නැති වෙන්න පුළුවන්, බොරු නොකියන්න පුළුවන්, ඇතිවන පුංචි ප්‍රශ්නයක්‌ හමුවේ ක්‍ෂණිකව ලෝභ, ද්වේශ, මෝහ අකුසලය චෛතිසිකයන් සකස්‌කර ගන්නවා. මේ කාරණය භාවනාවට බොහෝම අනතුරුදායක තත්ත්වයක්‌. ලෝභ, ද්වේශ, මෝහ නමින් පෙනීසිටින්නේ, මේ කාරණ තුනම සකස්‌ වෙන්නේ රූපයට ඇති තෘෂ්ණාව නිසාමයි. මමත්වයේ දැඩිභාවය නිසා ඉහත ස්‌වභාවය වැඩිවෙනවා. මෙහි වඩාත් භයානක කාරණා තීව්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායකර්ම, වචීකර්ම යටපත්කර මනෝ කර්ම නැගී සිටින බව.

සමාජයේදී අපිට පෙනෙනවා සමහරක්‌ පිංවතුන්ලා පුංචි ප්‍රශ්නයකදී එහෙමත් නැතිනම් ධර්ම අවවාදයකදී ස්‌වාමීන් වාහන්සේලාගෙන් වුණත් පිළිගැනීමට මැලිවන්නේ නැහැ. අවදානම සකස්‌ කර දෙන්නේ දසකුසල් කියන ජීවිතයට එකතු කර නොගැනීම නිසා.
ඉන්ද්‍රජිත් සුබසිංහ


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....
සතර අපායෙන් මිදෙමු - 81 කොටස

ඔබ ඔය ද්වේශ කරන්නේ
ඔබගේම මෝහයට නොවේද?

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි.
පිංවතියක්‌ භික්‍ෂුවට ප්‍රකාශ කළා "ස්‌වාමීන්වහන්ස, මම දිනකට සිය වතාවක්‌ ඉතිපිසෝ භගවා පාඨය සිහිපත් කරනවා. දැනට සිහිපත්කොට ඇති වාර ගණන පනස්‌ දහසකට වැඩියි" යෑයි ප්‍රකාශ කළා. 

එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ "එය බොහොම වටිනවා. ඔබ මෙනෙහි කරන්නේ බුදුරජානන් වහන්සේගේ උතුම් ගුණයක්‌. බුදුරජාණන්වහන්සේගේ උතුම් ගුණයක්‌ යමෙක්‌ එක මොහොතක්‌ නමුත් සිහිපත් කරනවා නම්, එය තමාගේ සැපය සඳහාමයි හේතුවෙන්නේ. 

නමුත් ඔබ මෙසේ මෙනෙහි කරනගමන් දක්‍ෂ වෙන්නේ ඕනේ, මෙතැනින් ඉදිරියට යන්න. මොකද එම බුදුගුණය සිහිපත් කරන වාර ගණන වැඩි කරගැනීම කියන තෘෂ්ණාව තුළ අවදානමක්‌ තිබෙනවා. ඔබ මෙතැනදි හිතන්න ඕනේ බුදුගුණයේ අර්ථය ගැන. ඇයි බුදුරජාණන් වහන්සේ ඉහත ගුණයන්ගෙන් පරිපූර්ණ වූයේ? උන්වහන්සේ ලෝභ ද්වේෂ මෝහ අවබෝධයෙන් ප්‍රහීන කළ නිසා. 

එහෙම නම් වඩාත් අර්ථවත් වෙන්නේ බුදුගුණ මෙනෙහි කරන ගමන්ම, සෑම උදෑසනකම ඔබට පුළුවන් නම් "අද දවසේ මට ලෝභ සිතක්‌ ඇති නොවේවා¾ ද්වේෂ, මෝහ සිතක්‌ ඇති නොවේවා කියලා වීර්යයෙන් යුතුව ඒ සඳහා උත්සහගන්න, ඒ තමයි සෑම බුදුගුණයක්‌ කෙරෙහිම ඔබ කරන උතුම්ම පූජාව වෙන්නේ. එවිටයි ඔබ සිහිකරන බුදු ගුණය අර්ථවත් වෙන්නේ. එවැනි පූජාවක්‌ තුළින් වාර ලක්‍ෂ ගණනක්‌ බුදු ගුණ සිහිකරනවාය කියන ලෝභ සිතිවිල්ල පරාජය කොට, අලෝභය නමැති කුසල් සිතිවිල්ල ඇතිකරගන්න පුළුවන් වෙනවා. මොකද බුදුගුණ ලක්‍ෂ ගණනින් සඡ්ජායනය කළත් අර්ථවත් ප්‍රතිඵලයක්‌ නැහැ. අපි දවසේ නිතරම ලෝභ, ද්වේශ, මෝහ සිතිවිලි සකස්‌කරගන්නවා නම්, අවසානයේදී අපි මුලා වුණා පමණයි. එනිසා ධර්ම මාර්ගයේ අර්ථවත් දිශාවටම ගමන් කරන්න. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්, සැපයේ සතුරන් බව, භාවනාවට බාධාවක්‌ බව, භාවනා කිරීමට පෙර හඳුනාගන්න. 

මේ මොහොතේ තවත් එක්‌ කාරණාවක්‌ මතකයට එනවා. එක්‌තරා වයෝවෘද්ධ කැපකරු මහත්තයෙක්‌ භික්‍ෂුවට ප්‍රශ්නයක්‌ යොමුකළා. "මම නිතරම භික්‍ෂූන් වහන්සේලාව බස්‌ වලට නග්ගවන්න, බෙහෙත් අරන්දෙන්න යනවා. මම මේ කටයුතු කරන්නේ බොහොම ගෞරවයෙන්. මේ කටයුතුවලට මම පාරට ඇවිත් ස්‌වාමීන්වහන්සේලාව වඩම්වගෙන යන්න වාහනවලට අත දික්‌කළාට වාහන නවත්වන්නේ නැති වෙලාවල් තිබෙනවා. සමහර බස්‌රථ නතර කරන්නේ නැහැ. මේ වෙලාවට මට හුඟක්‌ කේන්ති යනවා. සමහර දායක පිරිස්‌ තම නියමිත දිනයේදී දානය අරගෙන එන්නේ නැහැ. මේ වෙලාවටත් මට කේන්ති යවනා. මම ඒ මිනිස්‌සුන්ට බණිනවා. මම මේ කේන්ති යනවා, ද්වේශය සකස්‌කරගන්නේ ස්‌වාමීන්වහන්සේලා වෙනුවෙන් නිසා එම කේන්ති ගැනීම අකුසලයක්‌ වෙන්නේ නැහැ නේද?" කියලා. 

මේ කැපකරු මහත්තයා අවංකවම සිතාගෙන සිටින්නේ ස්‌වාමීන්වහන්සේලාගේ අවශ්‍යතාවයන් වලදී, අන්‍යයන් සමග කේන්ති ගැනීම, අන්‍යයන්ට ද්වේශ කිරීම අකුසලයක්‌ සිදුවන කාරණයක්‌ නොවෙයි කියලා. ඒ විදිහට හෝ ස්‌වාමීන්වහන්සේලා වෙනුවෙන් පෙනී සිටීම කුසලයක්‌ කියලා. බලන්න මෝහය කියන කාරණයේ බරපතලකම.

ඒ මොහොතේ ඒ කැපකරු මහත්තයාට භික්‍ෂුව කෙටියෙන් ප්‍රකාශ කළේ "මහත්තයෝ, භික්‍ෂුවක්‌ උදෙසා නෙමෙයි, බුදුරජාණන්වහන්සේ උදෙසා හෝ ඔබ අන්‍යයන් සමග ද්වේශයක්‌ ඇතිකරගත්තොත් එය ද්වේශයක්‌මයි" කියලා. එය අකුසලයක්‌මය කියලා. 

මේ කැපකරු මහත්තයා ස්‌වාමීන්වහන්සේලාට බොහොම ගෞරව කරන, නිතර බුදුගුණ භාවනාව කරන පිංවතෙක්‌ නිසයි උදාහරණයක්‌ වශයෙන් මෙය සටහන් කළේ. ඔබත් බොහොම පරෙස්‌සමින්.....

ලෝභ, ද්වේශ, මෝහ සක්‌කාය දිට්‌ඨයේ ගජ මිතුරන්මයි.

එමනිසා පිංවත් ඔබ පන්සල, ආරණ්‍යය, පිංකම.... මේ කිසිවක්‌ හේතුවෙන් ලෝභ ද්වේෂ මෝහ අකුසල් සිතිවිලි සකස්‌ කරගන්න එපා. ඒවාද අකුසල්මයි. ඔබ එසේ ද්වේශය ඇති කරගන්නවා නම්, ඒ ඔබ ද්වේශ කරන්නේ ඔබ තුළම ඇති මෝහයට බව සිතන්න . ද්වේශයත්, මෝහයත් ඔබේම නම් ප්‍රතිඵලද ඔබේම බව සිතන්න. 

පිංවත් ඔබ, ඉහතින් සඳහන් කළ කරුණු ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන අයෙක්‌ නම්, ඔබට බාධාවකින් තොරව චිත්ත සමාධිය සකස්‌කොටගෙන අනිත්‍ය ධර්මයන් වැඩීමට හැකියාව ලැබෙතැයි ඔබටම දැනෙනු ඇත. ඉහත කාරණා, සද්ධර්ම ශ්‍රවණයත්, ශීල සමාධි ප්‍රඥා විමුක්‌ති මාර්ගය ගැන සාකච්ජාවත්, කල්‍යාණමිත්‍ර ඇසුරත් තුළින් අර්ථවත් කරගැනීමත් උදෙසා, නිවන් අවබෝධයෙන් සැනසෙන්නට ලැබුණු මේ උතුම් මොහොතේ පිංවත් ඔබ වීර්යය වඩන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....
ප්‍රඥාවේ ඇසින් අත්දුටු ලොව්තුරා ධර්මයේ ආශ්චර්යය
සතර අපායෙන් මිදෙමු - 82 කොටස


මේ ලොව්තුරා අසිරිමත් ධර්මය පිංවත් ඔබට ලෝකය විනිවිද දැකිය හැකි ධර්මයක්‌. එලෙස ලෝකය විනිවිද දකින්නේ විද්‍යාගාර, පර්යේෂණාගාර තුළදී නොව, පංචනීවරණයන් යටපත් වූ ඔබගේ ප්‍රභාෂ්වර සිත තුළින්මය. මස්‌ ඇසෙන් දකිනා ලෝකය මෝහයයි. ප්‍රඥාවේ ඇසින් දකිනා ලෝකය යථාර්ථයයි. ශීලයේත් සමාධියේත් ඵලයෙන් උපදින ප්‍රඥාවේ ඇස, මංමුලා වූ ලෝකයෙන් ඔබ්බට භව නිරෝධය දෙසට පාර පෙන්වන ආලෝකයයි.

භික්‍ෂුව සමාධියෙන් පසුවන විට අරමුණු නොකරම ඒ ආලෝකය ඔස්‌සේ අපූරු දර්ශනයක්‌ දර්ශනය විය. එය පිටසක්‌වල ජීවීන් පිරිසකගේ කියලයි භික්‍ෂුව අනුමාන කරන්නේ. ඒ කියන්නේ එය පිටසක්‌වල දර්ශනයක්‌. භික්‍ෂුවට දර්ශනය වන තැන බොහෝම ආලෝකවත් ස්‌ථානයක්‌. අක්‌කර දහයක පමණ භුමි ප්‍රදේශයක්‌ දර්ශනය වුණා. ගහකොළ කිසිවක්‌ පෙනෙන්නට තිබුණේ නැහැ. වැඩි උස නොවූ කෙටි ගොඩනැගිලි කිහිපයක්‌ තිබුණා. මේවා පෙට්‌ටි හැඩයටයි තිබුණේ. කෘත්‍රිම ද්‍රව්‍යවලින් තනපු බවකුයි පෙනුණේ. එම ස්‌ථානය ළමා උද්‍යානයක්‌, ළමා පාසලක්‌ වගේ තැනක්‌. කළු සහ සුදු පැහැති අඟුටුමිටි ළමයින් 25 ක්‌ පමණ එතැන සිටියා. මේ හැම දරුවෙක්‌ම උපරිම අඩි 2 ක්‌ පමණ උස ඇති. සියලුම දරුවන් දේහ ප්‍රමාණයෙන් එක වගේ. මේ දරුවන් බොහොම කඩිසර වේගවත් ඉරියව් දැක්‌වුවා. සෑම දරුවෙක්‌ම එක සමාන වර්ණවත් ඇඳුම් ඇඳගෙන සිටියා. තද දම් පැහැති කෙටි කලිසමක්‌, රතු පැහැයට හුරු රෝස පැහැති උඩුකය බැනියමක්‌. එය මහත නූලෙන් ගෙතු ඇඳුමකි. එහි කොටුවෙන් කොටුව හිදැස්‌ ඇත. බැනියමේ පසුපස ගෙතු පටි දෙකක්‌ හරහට එල්ලෙමින් තිබිණි. සියලුම අඟුටුමිටි ළමයින් එකම ස්‌වභාවයේ ඇඳුම් මෝස්‌තර දරාගෙන සිටියහ. ස්‌වීටර් මහන රෙදි වර්ගයේ වැනි රෙදිවලිනි කෙටි කලිසම නිර්මාණය වී තිබුණේ. එම ඒකාකාරී ඇඳුමත්, දරුවන් සියලුදෙනා එකම ප්‍රමාණයේ වීමත්, ඔවුන්ගේ කඩිසරභාවයත් නිසා එය අපූරු චිත්‍රයක්‌. 

මෙම දරුවන් සමග එක වැඩිහිටියෙක්‌ සිටියා. ඔහු අඩි 4 ක පමණ අයෙක්‌. ඔහු ගැන එතරම් පැහැදුලි චිත්‍රයක්‌ ඇඳුණේ නැහැ. මේ ස්‌ථානයට යාබද පාරක්‌ තිබුණා. එය අඩි 30 ක පමණ පාරක්‌. එම පාරේ අලියෙක්‌ ගමන් කළා. ඒ වැඩුණු අලියාගේ උස අඩි 5ක්‌ පමණ ඇති. එම සතා හීලෑ කළ කුරු අලියෙක්‌ වගේ. මේ අලියාගේ එක කන් පෙත්තක කෙළවර වටාපතක්‌ සේ මොනර පිල් කළඹක්‌ තිබුණා. මොනරෙක්‌ පිල විහිදාගෙන සිටින ආකාරයට එම පිල විහිදිලයි අලියාගේ කනේ පෙති අගට මුහුවෙලා තිබුණේ. එය ස්‌වාභාවික පිහිටීමක්‌ හැටියටයි භික්‍ෂුව දැක්‌කේ. මේ අලියා සමග එක ප්‍රභු මහත්තයෙක්‌ ඇවිදගෙන යනවා. ඔහු සුදු ජාතිකයෙක්‌ වගෙයි. ඔහුගේ උස අඩි 4 1/2 ක්‌ විතර ඇති. ඔහු හොඳින් වැඩුණු වයස අවුරුදු 55 ක වගේ මහත්තයෙක්‌. මොහු කෝට්‌ එකක්‌, දිගු කලිසමක්‌ සහ ප්‍රභුන් පළඳින තොප්පියක්‌ පැළඳගෙන සිටියා. මොහු බොහොම තැන්පත් ප්‍රභු ලීලාවෙනුයි අලියා පසුපස ගමන් කළේ. අලියා සමග ඇත්ගොව්වෙකුත් ගමන් කළා. ඔහු කළු ජාතිකයෙක්‌ වගෙයි. ඔහුත් අඩි 4 ක්‌ පමණ උස ඇති. මොහු ගැන වෙන මතකයක්‌ නැහැ. මොවුන් සියලුදෙනාම ප්‍රමාණයෙන් මිටි මනුෂ්‍යයින්. හැබැයි මේ අය බොහොම කඩිසරයි. ඒ වගේම පෞරුෂත්වයෙන් ඉහළයි. ගහකොළ නැති කෘත්‍රිමව නිර්මාණය කළ නගරයක්‌, පරිසරයක්‌ වගෙයි එම පරිසරය භික්‍ෂුවට දර්ශනය වුණේ. 

ඉහත අඟුටුමිටි ළමා පිරිස ඉහත ස්‌ථානයේ රැඳී සිටියදී තවත් ළමා අඟුටුමිටි පිරිසක්‌ උද්‍යානයට ඇතුළුවීම සඳහා වාහනයකින් බසිමින් සිටියේය. එම වාහනය නවතා තිබුණේ උද්‍යානයට යාව තිබූ අලියා ගමන් කළ මාර්ගයේය. එම මාර්ගය ගුවන් පථයක්‌, අධිවේගී මාර්ගයක්‌ සේ තැනූ ඉතාමත් පිරිසිදු, මැදුණු කෘත්‍රිම මාර්ගයකි. එම අඟුටුමිටි ළමා පිරිස පැමිණි වාහනයේ හැඩය අමුතුය. එහි රෝද පෙනෙන්ට තිබුණේ නැත.

භික්‍ෂුව ඉහතින් සමාධිය තුළදී දකින්නේ පිටසක්‌වල ජීවීන් පිරිසක්‌ බව භික්‍ෂුවට හොඳටම පැහැදුළියි. ලොව්තුරා බුදුජාණන්වහන්සේ දේශනාකොට වදාළ අප්‍රමාණ ලෝක ධාතුන්ගෙන් එකක ජීවත්වන මනුෂ්‍යයින් පිරිසක්‌. එය විනාඩියක්‌ වැනි කෙටි කලකදී දර්ශනය වී මැකීගොස්‌ අවසන් වෙයි. මේ කෙටි කාල පරාසය තුළ භික්‍ෂුව අත්දුටු දර්ශනයයි මෙහි සටහන් තැබුවේ. මෙම කාරණය කෙනකුගේ හාස්‍යයට විවේචනයට ලක්‌වීමටත් පුළුවන්. ප්‍රතිචාරය කුමක්‌වුවද එය භික්‍ෂුවට අදාළවන්නේ නැහැ. මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී උතුම් සමාධිය තුළින් යමක්‌ දැක්‌කද එය භික්‍ෂුව සටහන් තබන්නේ පිංවත් ඔබට උතුම් සද්ධර්මයේ අසිරිය ගැන නැවැත නැවත සිතන්නයි. එසේ නැතිව පිටසක්‌වල ගැන පර්යේෂණ කරන්නට නොවේ. ලෝකයේ දේවත්වයෙන් සලකන තාක්‍ෂණය විසින් නොදැක්‌කාවූ ලෝකය, ප්‍රඥාවේ ඇසින් අත්දකින ලොව්තුරා ධර්මයේ ආශ්චර්යය ගැන කියන්නයි. භික්‍ෂුවට අවශ්‍ය සද්ධර්මය කෙරෙහි ඔබගේ විශ්වාසය එක දශමයකින් හෝ වැඩි කරන්න පමණයි.

ලෝකය බොහොම අනතුරුදායකයි. මොකද ඔබ සීමාව ඉක්‌මවා පිටසක්‌වල ලෝකයන් කෙරෙහි උපාදානය සකස්‌කොට ගතහොත් , පිංවත් ඔබව ධර්මයක්‌ නොමැති මිථ්‍යාදෘෂ්ඨික පිටසක්‌වලක අඟුටුමිට්‌ටෙක්‌ වෙලා, අඟුටුමිටි තිරිසන් සතෙක්‌ වෙලා ඉපදීමේ අවධානම තිබෙනවා. ලෝකය තාක්‍ෂණයට විද්‍යාවට ලොල්වෙන්න, ලොල්වෙන්න පිටසක්‌වල ජීවීන්ගේ ගහනය වැඩි වෙන්න පුළුවන්. දැනුම හරහා ලෝකය තුළින් ඔබ කොතැනින් එතෙරවීමට ගියත් දුකමයි. මිථ්‍යාදෘෂ්ඨිකභාවයමයි උරුමය වන්නේ. සද්ධර්මය තුළින් ඔබ ලෝකයෙන් එතෙරට යන්න. තබන පියවරක්‌ පාසා සැපයමයි අයිතිවෙන්නේ. මෙලොව ඇති ශ්‍රේෂ්ඨතම බලය, ශීල සමාධි ප්‍රඥා බලයයි. එම බලයට ඕනෑම මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ අයත්ය. ඒ ශේ්‍රෂ්ඨ බලයට අභියෝග කළොත් ඔහු අභියෝග කරන්නේ ඔහුටමය. මන්ද, බලවත් අකුසලයන් ඔහු එන පෙරමග බලා සිටිනා බැවිනි. 

ඉන්ද්‍රජිත් සුබසිංහ