පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

අවබෝධය උදෙසා හුස්‌ම රැල්ල යොදාගන්න

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
(භාවනාව- 1)


මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!


ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සතර සතිපට්‌ඨාන සූත්‍රයේදී බොහොම නිරවුල්ව දේශනා කරනවා භවදුකෙන් අත්මිදීම සඳහා සතර සතිපට්‌ඨාන ධර්මයන් ජීවිතයෙන් ප්‍රගුණ කළ යුතු ආකාරය.


මේ තරම් පැහැදිළි සම්මා සම්බුද්ධ දේශනාවක්‌ තිබියදී අපට ඇසෙනවා බාහිර ක්‍රමවේදයන් පිළිබඳ සමාජයේ යම් ප්‍රවණතාවක්‌ තිබෙනවා. මේ හැම ක්‍රමවේදයක්‌ තුළින්ම මනුෂ්‍යයා යම් සහනයක්‌, සැහැල්ලුවක්‌ ජීවිතයට ලබනවා. ඒ ගැන කිසිම සැකයක්‌ නැහැ. නමුත් අපේ අරමුණ ජීවිතයට සැහැල්ලුව, සහනයක්‌ නම් එය බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වුණ ජීවිතයේ අර්ථය නෙමෙයි. මොකද සැහැල්ලුවත්, සහනයත්, ජීවිතයත් කියන කාරණා අනිත්‍යභාවයට පත්වෙන නිසා. බුදුරජාණන්වහන්සේගේ ධර්මය හැම විටම ඉලක්‌ක වූයේ භව නිරෝධය දෙසටම, අකුසල මූලයන් සිඳෙන දිශාවටමය. එම නිසා මේ ධර්ම මාර්ගයේ අවබෝධයක්‌ ලබන්නට නම්, බුදුරජාණන්වහන්සේගෙන්මයි පාර අසා දැනගන්න ඕනේ.

මේ ධර්ම මාර්ගයේදී මුල්ම අවබෝධය වන සෝවාන් ඵලය සාක්‍ෂාත් කර ගැනීමට නම් බුදුරජාණන්වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව, ධර්ම රත්නය, සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණිය යුතු වෙනවා. මෙතනදි සංඝරත්නය කෙරෙහි අචල සද්ධාව කියන කාරණය හොඳින් සිහිතබාගත යුතුවෙනවා. සම්බුදු වචනයට පරිබාහිරව පිංවත් ඔබ නවීකරණය කරන ලද කමටහන් ක්‍රමවේදයක්‌ භාවිතයට ගතහොත් ඔබට මාර්ගය වැරදෙන්න පුළුවන්. මොකද වැරදි මාර්ගයේ ගියොත් ශ්‍රද්ධාව සකස්‌වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නෙමෙයි. වෙන වෙන තමන් ගරුකරන ගුරුවරුන්, භාවනා උපදේශක පිංවතුන් කෙරෙහියි. මෙතැන බොහොම අවාසනාවන්ත තැනක්‌. භික්‍ෂුව දැකලා තිබෙනවා 'බුදුරජාණන්වහන්සේ'කියලා කියපුවහම සාධුකාර නොදෙන සමහර පිංවතුන් තමන් ගරුකරන ගිහි පැවිදි ධර්ම ගුරුවරයෙකුගේ නමක්‌ කියනකොට සාධුකාර දෙනවා. මෙතැනදි පිංවත් ගෞරවනීය ගුරුවරුන් දක්‍ෂවෙන්න ඕනෙ බුදුරජාණන්වහන්සේයි අප සියල්ලන්ගේම ශාස්‌තෘන්වහන්සේ. උන්වහන්සේයී සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ කියන කාරණයෙන් තම ශිෂ්‍යයින් දැනුවත් කරන්න. භාවනාව තුළදී තණ්‌හා, මාන්න, දිට්‌ඨි සකස්‌වීම නිසාමයි මෙවැනි මනෝභාවයන් ඇතිවෙන්නේ. 

භාවනා කරන සෑම පිංවතෙකුම දිනපතා තමා ගැන ස්‌වයං පරීක්‍ෂණයක්‌ කරන්න ඕනේ. යමෙක්‌ තුළ සතර සතිපට්‌ඨාන ධර්මයන් වැඩෙනවා නම් ඔහු තුළින් මාන්නය කියන කාරණය අඩුවෙන්න ඕනා. මාන්නය අඩුවෙන්න අඩුවෙන්න නිහතමානී බවයි ඔබේ ජීවිතයට එකතුවෙන්න ඕනේ. මේ ස්‌වයං පරීක්‍ෂණය දිනපතා ඔබේ ජීවිතයට එකතුකර ගන්න. එවිට ඔබ තුළින්ම ඔබට නිවැරදිවෙන්න පුළුවන්. සතර සතිපට්‌ඨාන භාවනාව ගැන අවධානය යොමුකරන ඔබ ජීවිතයේ සෑම ක්‍රියාවකදීම සතියෙන් සිහියෙන් යුතුව ඉරියව් පවත්වන්න. කරන කටයුත්ත කුමක්‌වුවද එම ඉරියව් කෙරෙහි අවධානය, සිහිය පවත්වාගන්න. පිංවත් ඔබ ඉඳගෙන සිටියත්, ඇවිදිමින් සිටියත්, නිදන්නට වැතිරුනත් බාහිර අරමුණුවලට සිත ඇදීයැමට ඉඩ නොදී තමන් කරන කාර්යයටම සිත යොමන්න. මෙතැන තමයි සිතේ සංසිඳීමේ මුල. මේ සංසිඳීම තුළයි ඔබ භාවනාවට යොමුවෙන්න සූදානම්වෙන්න ඕනේ. දැන් ඔබට පුළුවන් ආශ්වාස ප්‍රාශ්වාස කෙරෙහි සිහිය පවත්වාගන්න. ආශ්වාසයෙන් කය පුරවාගන්න. නැවත හිස්‌ කරන්න. නැවත, නැවත එසේම සිදුකරන්න. කාය සංස්‌කාරයන්ගේ ඇතිවීම නැතිවීම දකින්න. දැන් ඔබට පුළුවන් ආශ්වාසයේ දිගභාවය, කෙටිභාවය දකින්න. මේ සෑම ක්‍රියාවකදීම අනිත්‍ය කියන කාරණය ඔබ දැකිය යුතුය. පිංවත් ඔබ ගන්නා හුස්‌මපොදින් කය ජීවත්වන හැටිත්, එම හුස්‌මපොද නාසයෙන් පිටකරන මොහොතේ 'මේ කය මැරෙනවා' කියන කාරණය නුවණින් දකින්න. ඕක තමයි ජීවිතය.

අහස්‌ මාලිගා ගොඩනගාගෙන ජීවත්වුණත් ජීවිතයත් මරණයත් අතර තිබෙන කාල පරතරය මොනතරම් කෙටිද යන්න ආශ්වාස ප්‍රාශ්වාසය තුළින් දකින්න. ඕනෑම කෙනෙක්‌ මැරෙනවාය කියන්නේ ඉහළට ගත්තාවූ හුස්‌මපොද නාසයෙන් පිටවුනාය කියන කාරණයයි. හුස්‌ම රැල්ලක්‌ ඉහළට ගන්නකොට 'ජීවිතය' කියලා දකින්න. එම හුස්‌මරැල්ල නාසයෙන් පිටවෙනකොට මරණය මනසින් දකින්න. නැවත නැවතත් මෙසේ මෙනෙහි කරන්න. ජීවිතයත් මරණයත් අතර ඇති කෙටි භාවය දකින්න. ජීවත්වීමට ඇති තෘෂ්ණාව හේතුවෙන් කාය සංස්‌කාර සකස්‌වෙන හැටි දකින්න. 

පිංවත් ඔබ මොහොතක්‌ ආශ්වාස ප්‍රශ්වාස කිරීම නවතාගන්න. ශරීරය දෙස හොඳින් අරමුණු කරන්න. ඔබට දැනේවී පපුව ප්‍රදේශය තදවන ස්‌වභාවය. ශරීරය පුපුරන්න එනවා වගේ ස්‌වභාවයක්‌ සකස්‌වෙනවා. මේවා මරණයේ පෙරනිමිති බව මනසින් දකින්න. ඉතා කෙටි මොහොතක්‌ පමණක්‌ පිංවත් ඔබ මෙය සිදුකරන්න. නැවත පියවි ස්‌වභාවයට ආශ්වාස ප්‍රාශ්වාසයට එන්න. දැන් හොඳින් කය වායෝධාතුවෙන් පුරවාගන්න. ශරීරයට දැනෙන ආශ්වාදය මෙනෙහි කරන්න. හුස්‌ම නොගෙන සිටියදී ඇති වූ මරණීය විඳීමත්, හුස්‌ම ශරීරයට පුරවාගනිද්දී ඇති වූ ආශ්වාදය විඳීමත් අනිත්‍ය බවම දකින්න. මේ විඳීම් දෙකම සකස්‌වූයේ හේතු ධර්මයන් නිසා බව නුවණින් දකින්න. පිංවත් ඔබ කැමැති කැමති ආකාරයට අවබෝධය උදෙසා ආශ්වාස, ප්‍රශ්වාසය ප්‍රයෝජනයට ගන්න. ශරීරයත් ආශ්වාස ප්‍රාශ්වාස වායෝ ධාතුවත් වෙන්කොට දකින්න. ශරීරය ඔබට අයිති නැති බවත්, වායෝ ධාතුවද ඔබට අයිති නැති බවත් මනසින් දකින්න. කාය සංස්‌කාරයන්ගෙන් තොරව ශරීරය නොපවතින බව නුවණින් මෙනෙහි කරන්න. තමාගේ ජීවිතයට වගේම තමා වැඩියෙන්ම ආදරය කරන අයගේ ජීවිතවලටත්, තමා කැමති අකමැති සැමගේම ජීවිතවලටත් මෙය ගලපා දකින්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
මෙසේ දකින්න! පුද්ගල සංඥාවෙන් මිදෙන්න !
භාවනාව II
සතර අපායෙන් මිදෙමු - 84 කොටස
පිංවතුනි ආයතන වශයෙන් මේ කය වෙන්කර දකින්න පුළුවන්. කුමක්‌ හේතුවෙන්ද ඇස, කන, නාසය, දිව, කය, මනස සකස්‌ වුණේ නාමරූප ධර්මයන් නිසා. කුමක්‌ නිරෝධය කළොත්ද නාමරූප නිරෝධය සිද්ධවෙන්නේ? අවිද්‍යාව නිරෝධයෙන්, සංස්‌කාරයන්ගේ විඤ්ඤාණයේ නිරෝධයෙන් නාමරූප නිරෝධය සිද්ධවෙනවා. නාමරූප නිරෝධය හේතුවෙනුයි සලායතන නිරෝධය සිද්ධවෙන්නේ. 

අපි එක පාරටම නාමරූප නිරෝධය සලායතන නිරෝධය කියල ගත්තොත් සමහරවිටක අපි භාවනාවේදී රැවටෙන්න පුළුවන්. මොකද සමාධි භාවනාවේදී ඇලීම් ගැටීම් වලින් තොර උපේක්‍ෂාව කියන මට්‌ටමේදී ඇස, කන, නාසය, දිව, කය, මනස සංසිඳිලා තිබෙන්නේ. යටපත්වෙලා තිබෙන්නේ. සලායතන නොදැනී ගොස්‌ සියුම්ව ගොස්‌ තිබෙන්නේ. මෙන්න මේ ස්‌වභාවයට සමහරෙක්‌ රැවටෙනවා සලායතන නිරෝධය කියලා. ඒ සමාධි ඵලයේදී ඉන්ද්‍රියන් සංසිඳී ගියත් අවිද්‍යාව තුළයි තමා සිටින්නේ. මෙන්න මේ හේතුව නිසා පටිච්චසමුප්පාද ධර්මය මුල, මැද, අග වශයෙන් පියවරෙන් පියවර දකින්න අවශ්‍යයි.

බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා ඇස නිරතුරුව මැරෙමින් උපදිනවාය කියලා. එසේනම් ඇස උපදිනවාය කියන්නේ කුමක්‌ද? ඇස මැරෙනවාය කියලා කියන්නේ කුමක්‌ද? ඇස ඉපදෙනවාය කියල කියන්නේ ඇසත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් ඵස්‌සය වීම හේතුවෙන් චක්‌ඛු විඤ්ඤාණය සකස්‌ වුණාය කියන කාරණයයි. චක්‌කුවිඤ්ඤාණය සකස්‌ වුණ සැනින් ඔබ මොකද කරන්නේ. ඇසෙන් දුටු රූපය ගැන මනසින් සිතන්න පටන්ගන්නවා. ඒ කියන්නේ මනෝවිඤ්ඤාණය සකස්‌ වුණාය කියන කාරණයයි. ඇසෙන් රූපයක්‌ දකිනවිට චක්‌ඛු විඤ්ඤාණය සකස්‌ වුණා. ඇසෙන් දැකපු රූපය ගැන සිතනවිට චක්‌ඛු විඤ්ඤාණය අනිත්‍යවෙලා මනෝ විඤ්ඤාණය සකස්‌ වෙනවා. මෙසේ හිතනවිට ඔබව මදුරුවෙක්‌ කනවා. ඒ මොහොතේ කාය විඤ්ඤාණය සකස්‌වෙනවා, මනෝවිඤ්ඤාණය අනිත්‍යවෙලා. චක්‌කුවිඤ්ඤාණය අනිත්‍යවෙලයි මනෝවිඤ්ඤාණය සකස්‌ වුණේ. ඔබ හොඳින් දැනගත යුතුයි මේ ආයතන හයෙන් කුමක්‌ හෝ එක ආයතනයක්‌ පමණයි වරකට ඉපදිලා තිබෙන්නේ. සෑමවිටම ආයතන පහක්‌ මැරිලයි තිබෙන්නේ. චක්‌ඛු විඤ්ඤාණයට මනෝ විඤ්ඤාණය කියලා කියන්නෙ නෑ. මනෝ විඤ්ඤාණයට කායවිඤ්ඤාණය කියන්නේ නැහැ. එකක්‌ අනිත්‍යවෙලයි අනෙක සකස්‌ වෙන්නෙ. මෙන්න මේ ආකාරයට විඤ්ඤාණ ආයතන හය තුළින් ඉපදෙමින් මැරෙමින් ගලාගෙන යනවාය කියන්නේ ආයතනයක්‌ ඉපදෙමින් මැරෙමින් පුද්ගලයාගේ ආයුෂ උණුසුම පහව ගොස්‌ මැරෙන මොහොතේ, විඤ්ඤාණය චුති චිත්තය හැටියට මේ ශරීරයෙන් බැහැරව තවත් මව්කුසකට හෝ ඕපපාතික උපතකට හෝ බිත්තරයක්‌ තුළට බැසගන්නවා. 

ඉහත හේතූන් නිසාමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරන්නේ 'ඇස, කන....... නිරතුරුවම මැරෙමින් ඉපදෙනවාය කියන්නේ. එසේනම් පිංවතුන් මගේ කරගෙන තිබෙන්නේ නිරතුරුවම මැරෙන ඉපදෙන ඇසක්‌. ඉහත කරුණු අනුසාරයෙන් ඇසේ ඉපදීමත් මරණයත් නුවනින් මෙනෙහි කරන්න. ඔබ රූපයක්‌ දෙස හොඳින් බලන්න. ඔබට දැනේවි ඇස පමණයි ඉපදිලා තිබෙන්නේ අනෙක්‌ අයතන මැරිලයි තිබෙන්නේ කියලා. දැන් එම රූපය ගැන ඔබ සිතන්න පටන් ගන්නවා. එවිට ඔබට හොඳින් දැනේවි ඇස මැරුනා මනසයි ඉපදිලා තිබෙනනේ කියලා. මෙන්න මේ ඉපදීමේ මියයාමේ ක්‍රියාවලියේ වේගවත් භාවය හොඳින් නුවනින් මෙනෙහි කරන්න. ඇස මැරෙමින් ඉපදෙන මොහොතක්‌ පාසා මැරෙමින් ඉපදෙන විඤ්ඤාණය ගැන සියුම්ව මනසින් දකින්න උත්සහ ගන්න. ඇස පමණක්‌ නොවේ අනෙකුත් ආයතන ගැනද මෙසේ මෙනෙහි කරන්න. නිරතුරුවම මියයන උපදින ඇස කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න. 

මීළඟට ඔබ ශරීරයේ කොටස්‌ හයකට මනසින් වෙන්කර ගන්න. ඇස මනසින් උගුල්ලලා පැත්තකින් තබන්න. කන, නාසය, දිව, හෘදවස්‌තුව, ඉතිරි මස්‌, කටු, නහර ගොඩ එක ගොඩකට ගන්න. මනස යෑයි හෘදවස්‌තුව අනුමානයට ගන්න. දැන් පිංවත් ඔබ ඉදිරියේ වෙන් වශයෙන් ගොඩවල් හයක්‌ තිබෙනවා. මේ ගොඩවල් හය දකිද්දී ඔබට ඔබේ රූපය ගැන සංඥාවක්‌ තිබෙන්න බැහැ. මනෝමය සංඥාවකින් ඔබ මෙය දකින්න පුරුදුවෙන්න. ඒ තරමටම ඔබේ සතිය සිsහිය එම මස්‌ ගොඩවල් හය කෙරෙහි යොමුවෙන්න ඕනේ. පුද්ගල සංඥාවෙන් මිදී මස්‌, රුධිරය පිළිකුල්ය, දුගඳය කියන සංඥාවෙන් මේ ගොඩවල් දෙස බලන්න. මේවා ඔබට අයිති නැති දේවල් බව දකින්න. නිලමැස්‌සන් මේවා බුදින හැටි මනසින් දකින්න. කබරයින්, කිඹුලන් පැමිණ මේ මස්‌ තළුමරමින් බුදින හැටි දකින්න. පිංවත් ඔබේ ඔය රම්‍ය, සුරම්‍ය, සුභ වශයෙන් ගත්තාවු සිරුර "මම" කිඹුලකුගේ, කබරයෙකුගේ කුසේ, ආමාශයේ වමනයක්‌ බවට පත්වෙන හැටි, අශුචි බවට පත්වෙන හැටි මනසින් දකින්න. පිංවත් ඔබේ ආයුෂ වර්ණය සැපය බලය අනිත්‍යවී කිඹුලාගේ ආයුෂ වර්ණය සැපය බලය වැඩෙන හැටි දකින්න. කිඹුලාගේ අමාශය තුළ ඔබේ රූපය සිතින් මවාගෙන දකින්න. රූපය ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න. 

පිංවත් ඔබ නැවත ඉහත මස්‌ගොඩවල් හය මනසින් දකින්න. පිංවත් ඔබ වඩාත්ම කැමති ප්‍රියකරන ආදරය කරන අයගේ රූපය එකිනෙක අරගෙන එම හැම රූපයකම ඇස මනසින් උගුල්ලලා ඇස්‌ ගොඩට දමන්න. කන් මනසින් උගුල්ලලා කන් ගොඩට දමන්න. අනෙකුත් ඉන්ද්‍රියන්ද ඒ ඒ ගොඩවල්වලට දමන්න. ඒ පුද්ගල සංඥාවලින් මිදෙන්න. මස්‌ හැටියට දකින්න. පිළිකුල දුගඳ, ලේ හැටියට දකින්න. ඔබේ නිවසේ ජීවත්වන සියලු දෙනාම ඔබේ ගමේ ජීවත්වන සියලුදෙනාම, නගරය, රට හැටියට සියලු දෙනාගේම ශරීර මනසින් ඉන්ද්‍රියක්‌ වශයෙන් වෙන්කර ගොඩවල් හයට දමන්න. තිරිසන් සතුන් පවා ඇස ඇස්‌ ගොඩට දමන්න. දැන් ඔබ ඉදිරියේ ඇස්‌ කන්දක්‌, කන් කන්දක්‌..... ආදී වශයෙන් (මනස ලෙසින් හෘද වස්‌තුව ගත්විට) මස්‌ කඳු හයක්‌ තිබෙනවා නේද? පිදුරුතලාගල කන්ද වැනි උසට ගොඩනැගුණු සත්ව පුද්ගල සංඥාවන්ගෙන් මිදී නුවනින් දකින්න. මම හැටියට මගේ ඥාතීන් හැටියට ලෝකයා හැටියට පිංවත් ඔබට දැන් අරමුණුවන්නේ ඇස්‌ ගොඩකි, කන් ගොඩකි, මස්‌ගොඩවල් හයකි. නැවත නැවත මනසින් ඇස්‌ ගොඩ දෙස බලන්න. තිරිසන් සතාගේ ඇසත් මනුෂ්‍යයාගේ ඇසත්, මසත් අතර වෙනසක්‌ නැහැ නේද? මනුෂ්‍ය තිරිසන් භේදයක්‌, ස්‌ත්‍රී, පුරුෂ භේදයක්‌ ජාති, ආගම් භේදයක්‌ නැහැ නේද? කුණුවෙන දියවෙන මස්‌ ගොඩවල් හය දෙස නැවත නැවත මනසින් දකිමින් අවබෝධය ලබන්න. පිංවත් ඔබේ ඇසට නොපෙනුනේ ප්‍රේත, තිරිසන්, දිව්‍ය, බ්‍රහ්ම ජීවිතවලද සලායතන වල ස්‌වභාවය ඉහත ආකාරයමයි නුවනින් දකින්න. නිරතුරුවම භාවනා කරන ඔබ පුද්ගල සංඥාවෙන් මිදී ලෝකය ඇස්‌ගොඩක්‌, කන්ගොඩක්‌ වශයෙන් දකින්න උත්සහ ගන්න. එය රූපය කෙරෙහි ඇති ඡන්ද රාගය, ආත්ම දිට්‌ඨිය නැති කර ගැනීමට මහෝපකාරීවේවී.

ඉහතින් සඳහන් කළ මනස යනුවෙන් හෘදවස්‌තුව ගන්න කියලා එක ගොඩකට මෙතනදී ඔබ විතර්කයක්‌ සකස්‌කර ගන්න එපා. මනස කියන්නේ හෘදවස්‌තුවටද, මොළයටද, රුධිරයටද එසේත් නැතිනම් කුමක්‌ද කියන කාරණය ඒ විතජිතය සකස්‌ කළ සිත අනිත්‍යයයි කියලා දැකලා මනස කියන ගොඩට හෘදවස්‌තුව දමන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
ඔබ දෙපය තබාගෙන සිටින්නේ ඔබේම යෑයි සිතූ ශරීර මතම නොවේද?
භාවනාව III
සතර අපායෙන් මිදෙමු - 85 කොටස


මෙම ලිපිමාලාව සපයන ගෞරවනීය ස්‌වාමීන්වහන්සේ විසින් පවත්වනු ලබන ධර්මදේශනා මාලාව සම්බන්ධයෙන් අප පාඨකයන් විසින් කෙරෙන විමසීම් රැසකි. දහම් පිපාසයෙන් පෙළෙන ඔවුනගේ දැනගැනීම පිණිස පිංවත් ස්‌වාමීන්වහන්සේ විසින් සිදුකිරීමට නියමිත ඉදිරි ධර්ම දේශනා කිහිපයක තොරතුරු මෙසේ සඳහන් කරමු.

අප්‍රේල් 27- පස්‌වරු 4.00- රිඡ්වේ ආර්යා ළමා රෝහල (බොරැල්ල, මරදාන මාර්ගයේ පිවිසුම් දොරටුව)

අප්‍රේල් 29- පස්‌වරු 5.00- කොළම ඇස්‌ රෝහල

අප්‍රේල් 30- පස්‌වරු 5.00- වරකාපොල, වඩුවත්ත, ජයසුමනාරාමය, දංඔවිට.


දෙතිස්‌ කුණපය හැටියට ශරීරය කොටස්‌ තිස්‌දෙකකට ගොඩවල් ගසා වෙන්කර දකින්න පුළුවන්. ඒ වගේම සතරමහාධාතූන් වශයෙන් වෙන්කර දකින්න පුළුවන්. ශරීරයේ තද ස්‌වභාවයේ ඇති කොටස්‌ වෙනමත් ද්‍රව ස්‌වභාවයේ ඇති කොටස්‌ වෙනමත්, මේ කොටස්‌ දෙක තුළින්ම වායුස්‌වභාවයත් උණුසුම් ස්‌වභාවයත් දකින්න පුළුවන්. ඉහත ආකාරයට කමටහන් වඩන පිංවතා පිංවතිය නිරතුරුවම උත්සහගන්න ඕනේ පුද්ගල සංඥාවෙන් මිදිලා මුලින් සඳහන් කළ මස්‌ගොඩවල් හැටියට ඔබව වගේම ලෝකයාවත් දකින්න.

ඔබට රූපයක්‌ මුණ ගැහෙනවිටම සහ සිතට නැගෙනවිටම රූප සංඥාව මඟහැරලා ඉහත ගොඩවල් හය හැටියට දකින්න. සුළුවෙන් හෝ උත්සාහ ගන්න. පසුතැවෙන්න එපා බැහැය කියලා. උදම් අනන්නත් එපා පුළුවන්ය කියලා. මේ කාරණා දෙකේදීම සකස්‌වෙන්නේ දුකට හේතුවන තෘෂ්ණාවයි. මේ සටහන කියවලා ඔබට සිතුනොත් මෙහි ජීවිතයට ගත හැකි යමක්‌ තිබෙනවාය කියලා, එක සිතුවිල්ලක්‌ ඇතිකරගන්න. ඒ අදහසම ඇති ඔබ අදක්‍ෂයින්ගෙන් පිරි ලොවක දක්‍ෂයෙක්‌ය කියන කාරණය හඳුනාගන්න. මොකද මේ බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළ මාර්ගය නිසා. ඒ ශක්‌තිය ජීවිතයට එකතුකරගන්න. ඒ ශක්‌තිය එසේ මෙසේ ශක්‌තියක්‌ නොවේ. බුදුරජාණන් වහන්සේගේම ශක්‌තියයි. 

දැන් පිංවතුන්ලා සතරමහාධාතූන් හැටියට මේ කය දකින්න. මෙතනදී ඔබ ශරීරය මස්‌, බොකු, බඩවැල් ආදී තද ස්‌වභාවයේ අවයව එක ගොඩකට දමන්න. වායෝ ධාතුවත් තේජෝ ධාතුවත් පඨවි ආපෝ ගොඩවල් දෙක තුළින්ම දකින්න. ඉහත ගොඩවල් ඔබ මනසින් දකින විට ඔබේ පුද්ගල සංඥාව යටපත් වෙන්න ඕනේ. ඔබ විසින් ගොඩනගාගත් පඨවි, ආපෝ ගොඩවල් දෙකට, ඉකුත් සලායතන කමටහන්වලදී සදහන් කළ පරිදි ඔබගේ නිවසේ, ගමේ, නගරයේ, රටේ, ලෝකයේ සෑම මනුෂ්‍යයෙකුගේම රූපයත් යොමුකරගන්න. මස්‌ කන්දක්‌ ලෙසත්, ද්‍රවගොඩක්‌ ලෙසත්, එයට මැදි වූ වායෝ තේජෝ ස්‌වභාවයත් වශයෙන් ලෝකය දකින්න. තිරිසන් සතුන්ද මනසින් කොටස්‌ කර ඉහත ගොඩවලට දමන්න. මනුෂ්‍යයාගේ රූපයත්, තිරිසන් සතාගේ රූපයත් එකම ස්‌වභාවයේ වැගිරෙන කුණුවෙන දුගඳ හමන ස්‌වභාවයට අයිති බව දකින්න. මේ මස්‌ගොඩ, ද්‍රවගොඩ කුණුවී දියවී මහ පොළවට පස්‌වන හැටි නුවණින් දකින්න. එම පස්‌වලින් ගහකොළ පෝෂණය වන හැටි නුවණින් දකින්න. දුගඳ හමන වායෝධාතුව සුළග සමඟ මුසු වී වායුගෝලයට මුසුවන හැටි දකින්න. මස්‌ කුණුවී යනකොට එයින් නැගෙන උණුසුමින් පොළොව රත්වන හැටි මනසින් දකින්න. මහ පොළොවේ පසත්, ජලයත්, සුළඟත් පිංවත් ඔබේ ශරීරයට ගලපා බලන්න. සසඳා බලන්න. රූපයේ අනිත්‍යභාවය නුවණින් දකින්න. රූපයට ඇති ජන්ද රාගයෙන් මිදෙන්න. ඔබ දෙපා තබාගෙන සිටින මහ පොළොව සත්වයාගේම සතර මහා ධාතුවේ 'රූපයේ' අනිත්‍යභාවය තුළින්ම සකස්‌ වී ඇති බව මෙන්ම එය නැවත නැවත අනිත්‍ය වන හැටිත් දකින්න. පිංවත් ඔබේ ශරීරය පස හැටියට, ගංගාවල ජලය හැටියට, සුලං රැල්ලක්‌ හැටියට දකින්න දක්‍ෂ වෙන්න. ආධ්‍යාත්මික රූපයේදීද, භාහිර රූපයේදීද, සතර මහා ධාතුවේ අර්ථය අනිත්‍යයම බව මනසින් දකින්න.

සතර මහා ධාතූන්ගෙන් තොර ලෝකයක්‌ ඔබට කොතැනකදීවත් හමුවෙන්නේ නැහැ. පස ගත්තත්, ගින්දර, සුළඟ, ඉර, හඳ, තාරකා ගත්තත් මේ සෑම දෙයක්‌ම සතර මහා ධාතූන්ගෙන්මයි හැදිලා තිබෙන්නේ. පිංවත් ඔබ ඉදිරියේ තිබෙන හිස්‌ අවකාශය ගත්තත්, ඒ හිස්‌ අවකාශය තුළ සතර මහා ධාතුවක්‌මයි තිබෙන්නේ. නමුත් පඨවිය එතැනදී ඉතාම සියුම්. එම නිසා භාවනා කරන පිංවතා කොතැනකදීවත් සුබය, හිස්‌ය කියන අර්ථයෙන් රූපය දකින්න යන්න එපා. එය ඔබගේ අවබෝධයට බාධාවක්‌ වෙනවා. සුබය හෝ හිස්‌ය කියලා ගන්න තැනක්‌ ලෝකය තුළ, රූප ධර්මයන් තුළ නැහැ. නමුත් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් රහතන් වහන්සේට පමණක්‌ තම අවබෝධඥානයෙන් ලෝකය නාම රූප ධර්මයන් ශුන්‍යකොට, හිස්‌කොට දකින්න පුළුවන්. උන්වහන්සේ එසේ දකින්නේ සතර මහා ධාතුව විනිවිද ගිය, අවබෝධ ඥානයෙන් අභිබවා ගිය අනිත්‍ය ඥාන දර්ශනයක්‌ තුළින් රූපය අවබෝධ කර ඇති නිසා. 

රහතන් වහන්සේට පුළුවන්කම තිබෙනවා. මුළු ලෝක ධාතුවම නිශේධ කර දකින්න. නමුත් එම දේ පිංවත් ඔබ කරන්න යන්න එපා. එහෙම කරන්න ගියොත් වැරදෙනවා. පැටලෙනවා. මොකද ඔබ තවම රූපය, සතර මහා ධාතුවේ අනිත්‍යය, අවබෝධ ඥානයෙන් ඥාන දර්ශන ඔස්‌සේ අවබෝධ කර නොමැති නිසා. එම නිසා පිංවත් ඔබ ලෝකය හිස්‌ය, ශුන්‍යය කියන කාරණයෙන් බැහැරව සෑම අවකාශයක්‌ම, රූපයක්‌ම සතර මහා ධාතුව වශයෙන් දකින්න. සතර මහා ධාතුව නිරතුරුවම අති ප්‍රවේගයකින් වෙනස්‌වන ,අනිත්‍යස්‌වභාවය දකින්න උත්සාහගන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ