පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

දරුවාගේ පින අවදි කරවන්න කඳුළු සාගරයත් දකින්න

මහරහතුන් වැඩි මග ඔස්‌සේ
සතර අපායෙන් මිදෙමු - 110 කොටස


ලෝකය ගලාගෙන යනවා කුසල් අකුසල් ඊට උපකාරීවෙනවා. පිංවත් ඔබට ලෝකය අවශ්‍යනම් කුසලයයි ඔබ උපකාරගත යුත්තේ. එම නිසා පාසල් දරුවන් සෑම විටම දෙමාපියන්ට, ගුරුවරුන්ට කීකරුව පංචශීලය අර්ථවත්ව සමාදන්ව නිරතුරුවම බුද්ධ වන්දනාවන්ට සහභාගී වුවහොත් සහෝදර ශිෂ්‍යයන් සමග සමගියෙන් කටයුතු කළොත් දරුවන්ට පුළුවන් තමාගේ අතීත කුසල් ශක්‌තිය මතුකරගෙන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. 

පිංවත් දරුවන් දෙමාපියන්ට, ගුරුවරුන්ට ගෞරවය නොකළොත් පංචශීලය ආරක්‍ෂාකර නොගත්තොත් දිනපතා බුද්ධ වන්දනාවට සහභාගි නොවුනොත් පිංවත් දරුවන් තුළින් මතුවී එන්නේ අතීතයේ අකුසල් සංස්‌කාරයන්ගේ ඵලයයි. වර්තමාන පාසල් දරුවා තුළින් ඔබ දකින්නේ මේ අනතුරයි. 

සෝපාක පුංචි හාමුදුරුවො, නිග්‍රෝධ පුංචි හාමුදුරුවෝ, සංකිච්ච පුංචි හාමුදුරුවෝ, දබ්බමල්ල ඵුස්‌ස පුංචි හාමුදුරුවෝ, චුල්ල පන්තක පුංචි හාමුදුරුවෝ ළමා කාලයේදීම උතුම් රහතන් වහන්සේලා බවට පත්වුනා. ඒ ළමා ජීවිත තුළ තිබු අතීත කුසල් සංස්‌කාරයන්ගේ ශක්‌තිය මතුකර ගත් නිසා. බලන්න මොනතරම් අයෝමය කුසල් ශක්‌තියක්‌ ළමා ජීවිත තුළ සැඟවිලා තිබෙනවාද කියල. ළමා ජීවිතය තුළ සැඟවී තිබෙන අතීත කුසල් ශක්‌තිය දරුවන්ට පමණක්‌ තනිව මතුකරගන්න බැහැ. වර්තමානයේ පාසල් දරුවා තුළින් දෙමාපියන් මතුකොට ගැනීමට උත්සාහ ගන්නේ අධ්‍යාපනය පමණක්‌මයි. මෙතනදී හුඟාක්‌ වෙලාවට අපි පැරදෙනවා. ගුණයෙන් තොර දරුවෙකුයි අපි සමාජගත කරන්නේ. අවසානයේ ඒ දරුවන් දෙමපියන්ටවත් සලකන්නේ නැහැ. එම නිසා දෙමාපියන් ගුරුවරුන් හැමවිටම වැඩිහිටියන්ට ගරුකිරීම කියන කාරණයේදී, පංච ශීලය ආරක්‍ෂා කිරීම කියන කාරණයේදී, දිනපතා බුද්ධ වන්දනාව කිරීම කියන කාරණයේදී දරුවන්ට ආදර්ශවත් විය යුතු වෙනවා. 

භික්‍ෂුවට මතකයි භික්‍ෂුවගේ ගිහි පාසල් ජීවිතය. ගිහි කාලයේදී භික්‍ෂුව ඉගෙන ගත්තේ ක්‍රිස්‌තියානි පාසලක. පාසලේ හතේ ශේ්‍රණිය දක්‌වා බුද්ධාගම විෂය අපිට ඉගැන්වූවේ නැහැ. බුද්ධාගම විෂය තිබෙන වේලාවට අපිව පුස්‌තකාලයට යවනවා. අ.පො.ස (සා.පෙ.) විභාගය ඉලක්‌ක කරගෙන අටේ ශේ්‍රණියේ පටන් තමයි අපිට බුද්ධාගම විෂය ඉගැන්වූයේ. භික්‍ෂුව ජීවිතයේ කවදාකවත් දහම් පාසලකට ගිහිල්ල නැහැ. භික්‍ෂුව බුද්ධ වන්දනාවට අදාළ ගාථා කියන්න, කරණීයමෙත්ත සූත්‍රය කටපාඩමින් කියන්න ඉගෙන ගත්තේ අම්මා සමග නිවසේදී බුද්ධ වන්දනාව කරද්දියි. අම්මා කියල දුන්න, අම්මාගෙන් ඉගෙන ගත්ත ගාථ පෙළයි අදත් ඔබ සමග බුද්ධ වන්දනාව කරන විට ස-ජායනා කරන්නේ. බලන්න අම්මා කෙනෙකුට දරුවෙකුගේ ජීවිතයේ යහපත උදෙසා මොනතරම් ආදර්ශයක්‌ දෙන්න පුළුවන්ද කියලා. 

දරුවන් නිසා දුක්‌වෙන අම්මලා සමාජයේ අප්‍රමාණ සිටිනවා. මේ අය සිතන්නේ තමන් පැමිණි භව ගමනේ තමන්ට ලැබුණු පළමුවැනි දරුවයි මේ ලැබිල තිබෙන්නේ කියලා. සංසාරයේ දිග, පළල, ගැඹුර දකින්නේ නැහැ. දරුවන් උදෙසා අතීතයේ මහා සාගරයේ ජලයට වඩා කඳුළු හෙළල තිබෙන බව දකින්නේ නැහැ. දරුවා කියන කාරණය මහා බියක්‌, දරුවා කියන කාරණය මහා දුකක්‌, දරුවා කියන කාරණය මහා බැඳීමක්‌. දරුවෙක්‌ ඉපදුනාය කියන්නේ දුකක්‌ ඉපදුනාය කියන කාරණයයි. සංසාර බිය නොදකින නිසාම ලෝකයට අපව බැඳ තබන කාමවස්‌තුව දරුවායි. දරුවන් නිසා අප කොච්චර නම් අපාගත වෙලා ඇත්ද? තම දරුවා අසාධ්‍ය තත්වයෙන් රෝහලේ ඇඳ මත වේදනාවෙන් පෙලෙනවිට එම අම්මා දරුවාට කියනවා පුතේ ඔබ සුවපත් කරන්න මම අපායට උනත් යන්න ලෑස්‌තියි කියල. අම්මල තාත්තල වශයෙන් අපි දරුවන් නිසා කල්ප ගණන් සතර අපායේ දුක්‌විඳිල තිබෙනවා. දරුවා තුළින් ඇති මේ සංසාර බියයි මතුකර ගත යුත්තේ. එතන තමයි මේ දුකෙන් මිදෙන මාර්ගය තිබෙන්නේ. ධර්මානුකූලව සිතීමෙන් තොරව අපට මේ අනතුරෙන් ගැලවෙන්න බැහැ. තවත් අපි අනතුරුවලටයි යන්නේ. දරුවන් නිසා දුක්‌විඳින දෙමාපියන් ස්‌ථිර අධිෂ්ඨානයකට එන්න ඕන. මම මේ භව ගමනේ ලබන අවසාන දරුවයි මේ ලැබුවේ කියල. මේ ජීවිතයේ ලැබුණ දරුවන් හොඳින් පෝෂණය කරමින්, යුතුකම් ඉටුකරමින්, දරුවා තුළින්ම ලෝකයෙන් දරුවාගෙන් මිදෙන ස්‌වභාවයට ඔබ පැමිණිය යුතුයි. එතන තමයි දරුවා කියන දුකේ නිමාව තිබෙන්නේ. 

මේ සටහන් තබන භික්‍ෂුව අම්මා, තාත්තා කියන බැඳීමෙන් මිදුනේ අම්මා තාත්තාව කමටහනක්‌ කරගෙනමයි. දරුවන් හැටියට අපිව ලොකුමහත් කරන්න උගන්වන්න අම්මා තාත්තා ගත්තාවූ වෙහෙස වින්දාවු දුක දෑස්‌ දෙකෙන් දැකලාමයි අම්මා තාත්තා කියන අර්ථයන් කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදුනේ. අම්මා තාත්තා විඳපු දුක දැකලමයි දෙමාපියන් කෙරෙහි සංසාර බිය ඇති කරගත්තේ. 

අම්මාගේ නෙතින් තාත්තාගේ නෙතින් මා උදෙසා නැගුණු සෑම කදුළකම මා කඳුළු සාගරයක්‌ කර දැක්‌කා. මහ සාගරය දකින හැම මොහොතකම භික්‍ෂුව සිතන්නේ මේ සංසාරයේ මගේ අම්මලා තාත්තලා මා උදෙසා හෙලූ කඳුළු සාගරයයි කියල. කඳුළු සාගරයේ ප්‍රමාණය දකින විට මේ මුළු ලෝකයේම සත්වයෝ මගේ අම්මලා තාත්තලා හැටියට දකින්න මට දක්‍ෂතාවය ලැබුණා. මේ මොහොතේත් භික්‍ෂුව කරුණාවෙන් මේ සටහන් තබන්නේත් ඒ ඥාතීත්වය දකින නිසාමයි. 

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


මහරහතුන් වැඩි මග ඔස්‌සේ
සතර අපායෙන් මිදෙමු - 111 කොටස

ඔබ මැරි මැරී උපදින්නේ මේ සසර බිය විශ්වාස නොකළ නිසාමය



පහත සිද්ධිය පිංවතුනට දෙමාපියන්, දරුවන් අතර ඇති බැඳීම පිළිබඳ සංසාර බිය ඇතිකර ගැනීමට උපකාර වේවි.

භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවනකොට, එම භික්‍ෂුවට ප්‍රේත මවක්‌, පාසල් ඇඳුමින් සැරසුණු, පොත් බෑගයක්‌ කරේ එල්ලාගත් ප්‍රේත පාසල් දරුවෙක්‌ සමග දර්ශනය වෙනවා. මේ ප්‍රේත අම්මා ප්‍රේත දරුවාගේ අතින් අල්ලාගෙන ප්‍රධාන පාසලක්‌ ඉදිරිපිට බස්‌ නැවතුමක සිටිනවා. මේ ප්‍රේත අම්මා දරුවාව පාසල් එක්‌කරගෙන ඇවිල්ලා. පාසල ඇරුණු පසු නැවත ප්‍රේත විමානයට යනවා වෙන්න පුළුවන්. එම ප්‍රේත පිරිස්‌ බස්‌ රථයේ නැගලා යනවා අපි දකින්නේ නැහැ. ප්‍රේතයින් ජීවත්වන ප්‍රේත විමාන තිබෙනවා. ඒවා හරියට අපිළිවෙළට එක පෙළට හැදුණු සෙල්ලම් ගෙවල්, ගවගාල් වගෙයි. ජරාවාස වෙච්චි මුඩුක්‌කු පැල්පත් වගේ හරි අපිරිසිදුයි. අකුසල් නිසාම මේ ප්‍රේත විමාන මැද්දෙන් අපිරිසිදු කාණු ගලාගෙන යනවා. භූත මැස්‌සෝ, භූත බල්ලෝ, භූත කුකුල්ලු මේ ප්‍රේත විමානවල සිටිනවා. කකුල් ඉදිමුණු ප්‍රේතයෝ, ඇඟපුරා භූත මැස්‌සන් වැසූ ප්‍රේතයෝ, ඉතාමත් අපිරිසිදුව මේවායේ ජීවත්වෙනවා.

පිංවත් ඔබට සමහරවිට මේවා විශ්වාස කරන්නට බැරිව ඇති. මේවා විශ්වාස කිරීමට අපි මැලි නිසයි ලෝකය තුළ තවමත් අපි මැරෙමින්, ඉපදෙමින් ජීවත්වෙන්නේ. සංසාරයේ කටුක බිය තවමත් අපි නොදකින්නේ. පියවි ඇසට නොපෙනෙන භවයේ මේ කටුක යථාර්ථය උතුම් සමාධියේ ශක්‌තියෙන් දකින පිංවතායි සංසාර බිය ඇතිකරගෙන සංසාරයෙන් ගැලවී යන්නේ. 

භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවනවිට එක්‌ ප්‍රේත විමානයක ප්‍රේතයන් දෙදෙනෙක්‌ සහ ප්‍රේතියන් තුන්දෙනෙක්‌ දර්ශනය වෙලා තිබෙනවා. භූත බල්ලන්, භූත කුකුළන් කිහිපදෙනෙක්‌ එම ප්‍රේත විමානයේ ඉඳලා තිබෙනවා. මේ ප්‍රේතියන්ගේ ස්‌වභාවයෙන් භික්‍ෂුව හඳුනාගෙන ඇත්තේ ඔවුන් පෙර ජීවිතයේ මනුෂ්‍ය ලෝකයේ ගණිකාවන් බවයි. මේ ප්‍රේතියන් බීමත් ස්‌වභාවයෙන් තමයි ඉඳලා තිබෙන්නේ. පිංවත් ඔබට දැන් ප්‍රශ්නයක්‌ මතුවෙන්න පුළුවන්, කොහොමද ප්‍රේත ලෝකයේ ප්‍රේත ප්‍රේතියන් බීමතින් සිටින්නේ කියලා. මත් වතුරට ලොල්වෙලා මියයන මනුෂ්‍යයන් ප්‍රේත ලෝකයේ උපත ලැබුවහම මනුෂ්‍යයන් මත්වතුර බොන තැන් ඇසුරු කරගෙන තමයි ජීවත්වෙන්නේ. අරක්‌කු තැබෑරුම් අසල මෙන්ම අරක්‌කු පාවිචිචි වන සාදවලද මේ ප්‍රේත ප්‍රේතියන්, ඔබ පාවිච්චි කරන අරක්‌කු වීදුරුව ආඝ්‍රාණය කරනවා වෙන්න පුළුවන්. මේ හේතුව නිසා අරක්‌කු වලට ලොල්වුණු ප්‍රේත ප්‍රේතියන් වෙරිමතයට මත්වෙනවා වෙන්න පුළුවන්. පිංවත් ඔබ ඔබේ නිවසේ අරක්‌කු සාදයක්‌ පවත්වනවා කියන්නේ ගමේම සිටින මත්වතුරට ගිජු ප්‍රේත ප්‍රේතියන් ඔබේ නිවසට ගෙන්වා ගන්නවා කියන කාරණයයි. අවසානයේ ඔබ කාගේ ආශිර්වාදයද ලබන්නේ? ගමේ සිටිනා මත්වතුරට ලොල් වූ ප්‍රේත ප්‍රේතියන්ගේ 'මූසල ආශිර්වාදයයි'

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි දවස 'උදය' කියලා බ්‍රාහ්මණයෙක්‌ සිටියා. මේ උදය බ්‍රාහ්මණයාට සෝවාන් ඵලයට පත්වීමට පිං ඇතිභාවය දැකලා ඔහු කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ උදෑසන පිණ්‌ඩපාතය සඳහා උදයා බමුණාගේ නිවසට වැඩියා. උදය බමුණා බොහොම ගෞරවයෙන් දන් පූජා කළා. බුදුරජාණන් වහන්සේ උදය බමුණාට පිං අනුමෝදන් කරලා නැවත වැඩියා. බුදුරජාණන්වහන්සේ දෙවැනි දිනයේත්, තෙවැනි දිනයේත් පිණ්‌ඩපාතය සඳහා උදය බ්‍රාහ්මණයාගේ නිවසට වැඩම කළා. තෙවැනි දිනයේ උදය බමුණා බුදුරජාණන්වහන්සේට කියනවා 'ඔබ වහන්සේ මගේ ප්‍රනීත දානයේ රසයට ගිජුවෙලා ආයේ ආයෙමත් වඩිනවා නේද?' කියලා. බුදුරජාණන් වහන්සේ බමුණාට කියනවා 'බමුණ, බිත්තර වී වපුරනවා, අස්‌වැන්න නෙළනවා. ආයෙ ආයෙමත් වපුරනවා. යාචකයන් ඉල්ලාගෙන එනවා. දානපතියන් දන්දෙනවා. ආයේ ආයෙමත් දන් දෙනවා. සුගතියේ උපදිනවා. එළදෙනගෙන් කිරි දොවනවා. කිරි එරෙනවා. ආයෙ ආයෙමත් කිරි දොවනවා. වසු පැටවා ආයේ ආයෙමත් මව් වැස්‌සිය ළඟට යනවා. සත්වයා ආයේ ආයෙමත් ගර්භාෂයකට යනවා. ආයේ උපදිනවා. මැරෙනවා. අමු සොහොනට යනවා. තියුණු ප්‍රඥාව ඇති කෙනා ආර්ය අශ්ඨාංගික මාර්ගයේ ගමන්කොට නැවත උපදින්නේ නැහැ'ය කියලා. මේ ධර්මය නුවණින් මෙනෙහි කරලා සංසාර බිය ඇතිකොටගෙන උදය බමුණා උතුම් සෝවාන් ඵලයට පත්වෙනවා.

උදය බමුණා අවබෝධකොට ගන්නවා බුදුරජාණන්වහන්සේ ආයෙ ආයෙමත් තමන්ගේ නිවසට පිණ්‌ඩපාතය වැඩියේ රසයට ගිජුවෙලා නොව, තමා තුළ ඇති, රසයට ගිජුභාවය නැතිකර දැමීමටය කියලා. පිංවත් ගිහි පැවිදි අපි කව්රුන් වුවද ආයේ ආයෙමත් උතුම් සංඝයා හමුවීමට යා යුත්තේ නැවත ගර්භාශයකට යැමට නොව, මේ ක්‍රියාවලිය නවත්වා ගැනීමට අදාළ ධර්මයන් ජීවිතයට එකතුකර ගැනීමටය. 

පිංවත් තරුණ මහත්මයෙක්‌ ධර්ම සාකච්ජාවක්‌ අවසානයේ ප්‍රශ්නයක්‌ ඇසුවා 'ඔබ වහන්සේ ධර්මය ගලපා දෙද්දී උතුම් සමාධියෙන් අත්දැක්‌ක කාරණා රාශියක්‌ සඳහන් කරනවා. ඔබ වහන්සේ ඔය කියන දේවල් අපි කොහොමද විශ්වාස කරන්නේ' කියලා. 

බොහොම අවංක ප්‍රශ්නයක්‌.

මේ කරුණු විශ්වාස කරන්න පුළුවන්කම ඇත්තේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළින්මයි. මහා සංඝරත්නය කියන උතුම් අර්ථයත්, එම උතුම් අර්ථය පෝෂණය කරන සතර පාරාජිකාවෙන් මිදුණු ප්‍රාතිමෝක්‍ෂ ශීලයන්ගේ ශක්‌තියක්‌ කොටගෙනයි, ආභරණයක්‌ කොටගෙනයි භික්‍ෂුව මේ කරුණු සටහන් තබන්නේ. මේ ධර්මය දේශනා කරන්නේ. එතැන තමයි පිංවත් ඔබ ඇතිකොටගත යුතු විශ්වාසය. භික්‍ෂුවට ඔබට දිය හැකි සහතිකයත් එපමණමයි. මේවා සටහන් තබන භික්‍ෂුව පිළිබඳව ඔබ ප්‍රශ්නයක්‌ ඇතිකොටගන්න එපා. සටහන් තබන ධර්මය ගැන පමණක්‌ නුවණින් මෙනෙහි කරන්න. බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ උතුම් ධර්මයත් සමග ගලපා බලන්න. භික්‍ෂුව සටහන් තබන ධර්මය, දේශනා කරන ධර්මය, සත්පුරුෂ ඔබට යහපතක්‌ම වේවි. සංසාර බිය ඇතිකොටගැනීමට මාර්ගයක්‌ වේවි. 

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

මහරහතුන් වැඩි මග ඔස්‌සේ
සතර අපායෙන් මිදෙමු - 112 කොටස

ඉසුරු සොයා යන්නද කල්පනාව? බලන්න භික්‍ෂුවගේ සෞභාග්‍යය


භික්‍ෂුව හොඳින් දන්නා පිංවත් මහත්මයෙකුට මේ දිනවල ගැටලුවක්‌ මතුවෙලා. ඒ ගැන භික්‍ෂුවගෙන් අවවාදයක්‌ බලාපොරොත්තු වුණා. ඒ මහත්මයාට හදිස්‌සියේම බටහිර රටකට පදිංචියකට යන්න අවස්‌ථාවක්‌ ලැබිලා. මේ හේතුව නිසා ඒ මහත්මයාගේ සිතේ මේ දවස්‌වල ලොකු යුද්ධයක්‌. යම්දෝ.. නොයම්දෝ... කියලා.

ඉහත ප්‍රශ්නය අරභයා මේ මහත්මයාගේ සිත බොහොම ගැඹුරින් තර්ක විතර්ක කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සිත කියන්නේ මාරයා කියලා. මේ මුළුලෝක ධාතුවේම ආධිපත්‍යය දරණ සමස්‌ත සත්ත්ව ප්‍රජාවේම ඉරණම තීරණය කරන, ව්‍යවස්‌ථාව සම්පාදනය කරන මාරයාගේ අධිකරණ ක්‍රියාවලියක්‌ තිබෙනවා. මේ අධිකරණ ක්‍රියාවලිය ඔස්‌සේ තමයි මාරයා භවය නමැති සිරගෙදරට සත්ත්වයා සිරකරන්නේ. මේ අධිකරණ ක්‍රියාවලිය අපේ මනුෂ්‍ය ලෝකයේ ක්‍රියාත්මක වන අධිකරණ ක්‍රියාවලියට වඩා හාත්පසින්ම වෙනස්‌. අපේ මනුෂ්‍ය ලෝකයේ නම්, අධිකරණ ක්‍රියාවලියේදී පැමිණිල්ල සහ විත්තිය මෙහෙයවන නීතිඥ පාර්ශ්ව දෙකක්‌ තිබෙනවා. නමුත් මාරයාගේ අධිකරණ ක්‍රියාවලියේදී පැමිණිල්ලත්, විත්තියත් දෙකම මෙහෙයවන්නේ මාරයාගේ පාර්ශ්වය විසින්මයි. මේ ක්‍රියාවලිය පෘතග්ජන සිතකට හඳුනාගැනීමට නොහැකි උතුම් සම්මා දිට්‌ඨිය තුළින්ම හඳුනාගත යුතු ක්‍රියාවලියක්‌. මාරයා අධිකරණයේ පැමිණිල්ලත්, විත්තියත් දෙකම මෙහෙයවන නීතිඥයා වූ කල අපූරු නීති තර්ක සිත තුළ මතුකර දෙනවා. සශ්‍රික ධනවත් හොඳ අනාගතයක්‌, විවේකය හුදෙකලාව පිරුණු ගැටුම් අඩු ජීවිතයක්‌, දරුවන්ට ඉංග්‍රිසි උගත් සරු අනාගතයක්‌.... පැමිණිල්ල බොහොම අපූරුවට තර්ක ගෙනහැර දක්‌වනවා. මේ තර්ක වලට එරෙහිව විත්තියෙන් තර්ක ඉදිරිපත් කරනවා. දරුවන් බටහිර සිරිත් විරිත් ඉගෙනගෙන විනාශ වෙයිද? ධර්මයේ අර්ථයන්ගෙන් අපේ ජීවිත බැහැරවෙයිද? දෙමාපියන් ඥාතීන් අසනීප වුවහොත්, මියගියහොත් බලන්න එන්න බැරිවෙයිද? එම රටවල ශීතල දේශගුණය පවුලේ අයට ඔරොත්තු දෙයිද?... විත්තියෙන් බොහොම අපූරුවට අදහස්‌ ඉදිරිපත් වෙනවා. දෙපාර්ශවයේ අදහස්‌ සමග යුද්ධයක්‌ කරමින් තමයි ඒ මහත්මයා මේ දවස්‌වල ජීවත්වෙනවා ඇත්තේ.

නමුත් ඒ පිංවත් මහත්මයා දන්නේ නැහැ මේ පැමිණිල්ලත් විත්තියත් දෙකම මෙහෙයවන්නේ මාරයා කියන නීතිඥයා කියලා. කොයි මොහොතක හෝ ඒ මහත්මයා යනවා හෝ නොයනවා කියන තීරණය ගනීවී. තීරණය කුමක්‌ වුවත්, එම තීරණය මාරයාගේමය. ඒ මහත්මයා ගත්තා වූ තීරණය මාරයාගේම වූ කල භික්‍ෂුව ඔහුට කිනම් නම් අවවාදයක්‌ දෙන්නද? භික්‍ෂුව පිංවත් මහත්මයාට මතක්‌ කළේ පවුලේ අය සමග කථා කරලා සුදුසු තීරණයක්‌ ගන්න කියලා. හැබැයි භික්‍ෂුවට මෙහෙම කියන්න සිතුනා. 

'මහත්තයෝ කොළ කැබලි දෙකක්‌ ගන්න. එක කොළ කැබැල්ලක ලියන්න 'මම රට යනවා' කියලා. අනික්‌ කොළ කැබැල්ලේ ලියන්න 'මම රට යන්නේ නැහැ' කියලා. දැන් කොළ කැබැලි දෙක හොඳට රෝල් කරලා උඩ දමන්න. කොළ කැබැලි දෙක බිම වැටුණාට පස්‌සේ ඔබ එක කොළ කැබැල්ලක්‌ තෝරාගෙන දිගහැරලා බලන්න. එහි සටහන් වෙලා තිබ්බොත් රට යන්න කියලා, බුදුරජණන් වහන්සේ දේශනා කරනවා රූපය මාරයා කියලා. පිංවත් ඔබ අතට ගන්න කොළ කැබැල්ල කියන්නේ මාරයාමයි. එම නිසා 'මාරයා කියන දෙය මම කරන්නේ නැහැ කියලා' රට යන්න යනුවෙන් ලියලා තියෙන කොළ කැබැල්ල ඉරලා විසිකරන්න. දැන් ඔබ ඉතිරිවෙලා තිබෙන කොළ කැබැල්ල අතට අරගෙන දිගහැරලා බලන්න. එහි සටහන් කරලා තිබෙන්නේ රට යන්න එපා කියලා. දැන් පිංවත් ඔබ පෙරසේම නැවත සිතන්න කොළ කැබැල්ලක්‌ කියන රූපයත් මාරයා, මාරයා පෙන්වන දේ මම කරන්නේ නැහැ කියලා. එම කොළ කැබැල්ලත් ඉරල විසි කරන්න'

දැන් පිංවත් ඔබ නුවණින් දකින්න ඕනා, රට යාමත්, රට නොයැමත් දෙකම මාරයාට අයිති සිතිවිල්ලක්‌ම බව. රට යැමත් නොයැමත් දෙකම මාරයාට අයිති නම්, පිංවත් ඔබ කුමක්‌ද කරන්න ඕනේ?

රට යැමත්, රට නොයැමත් දෙකම අතහැරලා නැවතීමයි. 

පිංවත් ඔබ කුමක්‌ ළඟද නවතින්නේ ?

ධර්මය ළඟයි.

රට යම්දෝ, නොයම්දෝ කියලා සකස්‌වන ඔය සිත අනිත්‍ය වශයෙන් දකින මොහොතේම ඔබ ධර්මය ළඟ නැවතුනා වෙනවා. මාරයාගේ සටකපට අධිකරණ ක්‍රියාවලිය හඳුනාගත් පිංවතෙක්‌ වෙනවා. මාරයා අපට විකට ඇඳුම් අන්දවා, දුක නමැති සංදර්ශනයට ඉදිරිපත් කරනකොට මාරයාට අපි පිළිතුරු දිය යුත්තේ ඉහත ආකාරයටයි. 

එතකොට එම පිංවත් මහත්මයා භික්‍ෂුවගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් ඔබ වහන්සේ කියන විදිහට සිතුවොත් මම බලාපොරොත්තු වන වාසනාවන්ත අනාගතයට මොකද වෙන්නේ කියලා. 

එහෙම ඇසුවොත් භික්‍ෂුවට කියන්න තිබෙන්නේ මෙහෙමයි.

මේ ලෝකයේ ජීවත්වන ශ්‍රේෂ්ඨම ධනවතුන්ගෙන් කෙනෙක්‌ තමයි. මේ සටහන් තබන භික්‍ෂුව. ලෝකයේ යම් ශ්‍රේෂ්ඨ ධනයක්‌ තිබෙනවා නම් ඒ ශ්‍රේෂ්ඨ ධනයෙන් ලැබිය හැකි යම් ශේ්‍රෂ්ඨ සැපයක්‌ තිබෙනවා නම්, ඒ ශේ්‍රෂ්ඨ ධනයත්, ශ්‍රේෂ්ඨ සැපයත් භික්‍ෂුව අයිතිකොටගෙනයි සිටින්නේ. මේ සා ශ්‍රේෂ්ඨ ධනවතෙක්‌ වුණු භික්‍ෂුව සතුව තිබෙන්නේ තුන් සිව්රත් පාත්‍රයත් පමණයි. ඒවත් අනුනගෙන් සිඟමනෙන් ලැබුණ දේවල්මයි. 

සැබෑම ලොව්තුරු සැපයට පයින් ගසමින්, මාරයාගේ අධිකරණ ක්‍රියාවලියේ තීන්දුව ලැබෙනතෙක්‌ බලාපොරොත්තුවේ දෑස්‌ දල්වාගෙන බලා සිටින අපට සිතන්න දෙයක්‌ ඉහත සටහනේ තිබෙනවා කියලා භික්‍ෂුව විශ්වාස කරනවා. 

අපේ සමාජයේ ජීවත්වෙන බහුතරයක්‌ පිංවතුන්ලා තමන්ගේ ප්‍රශ්න මාරයාගේ අධිකරණයට භාරදීලා නිවැරදි තීරණයක්‌ බලාපොරොත්තුව සිටිනවා. ප්‍රශ්නයත් මාරයාගේම වූ කල, අධිකරණයත්, පැමිණිල්ලත්, විත්තියත් මාරයාගේම වූ කල තීන්දුව අනිවාර්යයෙන්ම දුකට අයත් දෙයක්‌ වෙනවා. 

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com